lahiru-perera-piano-issue

ප්‍රසිද්ධ ගායන ශිල්පී ළහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරා ගැනීමට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නිවසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් පිරිසක් එම නිවසේ රැඳී සිටි සිය පුතු දෙදෙනකුට පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම පහර දීමෙන් තුවාල ලැබූ පිය පුතු දෙන්නා රෝහල්ගතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


ගායන ශිල්පියාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ගම්පහ පිහිටි බේකරියක් බලා ගනු ලබනුයේ පවුලේ සාමාජිකයෙකු වන අතර ගායන ශිල්පියාට අයත් පියානෝවක් ඇතුළු සංගිත භාණ්ඩ කිහිපයක්ම තිබී ඇත්තේ බේකරිය පිහිටි ගොඩනැඟිල්ලෙහිය.

ටික දිනකට පෙර එම පියානෝව අතුරුදන්ව ඇති අතර ගායන ශිල්පියා සහ ඔහුගේ සහෝදරයා විසින් ඒ ගැන කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඥාතියා විසින් එය සොරාගෙන ගොස් ඇති බවය.

ඒ අනුව මේ ගැන ගම්පහ පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබි ඇත. එම පැමිණිල්ලට අනුව ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයාගේ දැනුමදීමකට අනුව ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිලධාරින් කිහිප දෙනෙකු පසුගිය 26 වෙනිදා පෙරවරුවේ සැකකරු රැඳී සිටින බව කියන දිවුලපිටිය සල්ගාදුවන්ගේ පිහිටි නිවසට ගොස් ඇත.

පොලිස් නිලධාරින් එහිදී නිවැසියන්ට දැනුම්දී ඇත්තේ සැකකරුට පොලිසියට පැමිණෙන ලෙසය.

එසේ දැනුමි දීමක් කර තිබියදීත් පෙරේදා (27) අලුයම 1.00ට පමණ පොලිස් නිල ඇඳුමින් සිටි නිලධාරින් දෙදෙනෙක් ඇතුළු සිවිල් පුද්ගලයින් පිරිසක් මෙම නිවසට ගොස් සැකකරුව සොයා නිවසේ ඒ වන විට රැඳී සිටි පිය පුතු දෙදෙනකුට පහරදී ඇති බව වාර්තාවේ.

පහර දුන් එක් නිලධාරියෙකුව නිවැසියන් විසින් හඳුනාගෙන ඇති අතර ඔහු ගම්පහ පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරයෙකු බව ඔවුන් පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ඔහු සමඟ මෙම පහරදීමට ගිය අනෙක් නිලධාරියා සොයා විමර්ශන පැවැත්වෙන බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(ගයාන් කුමාර වීරසිංහ)