katunayake-incident

රටවල් දෙකකට අයත් ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහිතව මෙරටට පැමිණි චීන ජාතිකයාට රටට ඇතුළු වීමට ඉඩ ලබා දීමේදී වැරැද්දක් සිදුව තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර, ඔවුන්ගෙන් ලැබෙන උපදෙස් අනුව තීරණ ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද, එම විමර්ශනය අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් මිස මෙම සිද්ධියට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ නොවන බවද ඊයේ (22දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.



එහිදී වැඩිදුරටත් අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"මේ චීන ජාතිකයා ඩුබායි ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඔහු ළඟ පාස්පෝට් දෙකක් තිඛිලා තියෙනවා. චීන පාස්පෝට් එකයි, පැපුවා නිව්ගිනියා පාස්පෝට් එකයි. මෙතනදි යම්කිසි වැරැද්දක් වෙලා තියෙනවා කියලා මම පිළිගන්නවා. චීන ජාතිකයෙකුට වෙනත් රටක පාස්පෝට් එකක් තියාගන්න බෑ. මට කියන්න බෑ දේශපාලඥයකුගේ මැදිහත්වීමක් නිසා මේක වුණා කියලා. නමුත් චීන පාස්පෝට් එක තිබුණු නිසා ඔහුට රටට ඇතුළු වෙන්න ඉඩ දීලා තියෙනවා. වහාම ඒක නවත්වලා, ඔහු ගෙනැවිත් චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ උපදෙස් අරගෙන අපි තීරණයක් ගත්ත මම උපදෙස් දුන්නා.”



ප්‍රශ්නය - රාජ්‍ය ඇමති කෙනෙක් මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් එයාටත් නීතිය එකයිනේ. ඒ අනුව යම් ක්‍රියාමාර්ගයක් ගන්නවාද?

පිළිතුර - අනිවාර්යෙන් විමර්ශනයක් කරනවා. ඒත් විමර්ශනය කරන්නේ රාජ්‍ය ඇමතිට නෙවෙයි. දෙපාර්තමේන්තුව තුළ සිදු වුණේ මොනවාද, ඒකට සම්බන්ධ වුණු නිලධාරීන් කවුද කියන එක පමණයි. ඒ මොකද ඕනෑම රාජ්‍ය ඇමතිවරයෙකුට, ඇමතිවරයෙකුට මෙන්ම ඔබතුමන්ලාට වුණත් අපේ නිලධාරීන්ට කතා කරන්න පුළුවන්. ඒක මාධ්‍යයෙනුත් කරනවා. මටත් කෝල් එනවා. එහෙම ආවට අපි දැනගන්න ඕනි අමාත්‍යාංශ වශයෙනුයි, දෙපාර්තමේන්තුව වශයෙනුයි හරි දේ කරන්න. ඒකට මම විමර්ශනයක් තියෙනවා.
දිනේෂ් සමරකෝන්