nethasha-thirani-peiris

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි තිරාණි පීරිස්  මහත්මියගේ එකම දියණියගේ හදිසි වියෝව පසුගියදා බොහෝ දෙනෙකුට කම්පනයක් ඇති කළ සිදුවීමත් විය. 19 හැවිරිදි නෙතාෂා පීරිස් මියගියේ මැලේසියාවේ වැඩිදුර අධ්‍යාපනයට ගොස් සිටියදීය. රාත්‍රියේ හෝ උදෑසන ඇයගේ ශරීරයේ සීනි සාන්ද්‍රණය අඩුවීම නිසා ඇය යම් අප්‍රාණික තත්ත්වයට පත්ව තිබෙන බවට වාර්තා වූ පසුව ඇයගේ කාමරයේ දොරගුළු කඩා ඇය රෝහල් කරා ගෙන ගියත් ඇය පියවි තත්ත්වයට පත් නොවී දිවියෙන් සමු ගත්තාය.
තිරාණි දියණිය ගැන මෙසේ කියන්නීය.
‘‘දුවගෙන් කිසිම උත්තරයක් නැති නිසා මම එයාගෙ කැම්පස් එකේ ඉන්න යාළුවන්ට කතා කරා, බෙල් එක ගහන්න කතා කරන්නෙ නැත්නම් දොර කඩන්න..... මම කෑගහල එයාලට කිව්ව, දුවගෙ යාළුවො කාමරේ ඇරගෙන එයාව ඉක්මනින් ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් තියෙනව, ඒ වෙනකොටත් එයා හරි අමාරුවෙන් ඉදල තියෙන්නෙ, ඒ ඉස්පිරිතාලෙට වඩා වෙනත් තැනකට ගෙනියන එක හොඳයි, ඒත් ගාණ වැඩියි කියල කිව්වා. මම කිව්ව ගාණ කීයක් වුණත් කමක් නැහැ ඉක්මනට ඇඩ්මිට් කරන්න කියල.
එයාට අසනීපයි කියල දැනගත්ත ගමන් මම තීරණය කළා මැලේසියාවට යන්න. ඉක්මනින් මැලේසියාවට ටිකට් එකක් ගත්ත. දුවගේ අසනීපය හා සිදුවීම් දැනුම් දීල පැය දෙකෙන් වීසා එකත් ගත්ත. ඒ සේරම කරගන්න අතරේ දුවගේ අවශ්‍යතා ගැන සොයා බලන්න කියල මම එහේ ඉන්න දුවගෙ යාළුවන්ටත් කිව්වා.

මම රෑ 8.00 වෙනකොට එයාර්පෝර්ට් යන්න ලෑස්ති වුණා. තනිවමයි යන්න සූදානම් වුණේ. ඊට කලින් කොයිතරම් රට ගිහින් තිබුණත් මම කවදාවත් තනියම රට ගිහින් නැහැ. ඒ වුණත් දුවගෙ අසනීපය මේ සේරටම වඩා වැදගත් නිසා ඕනම දේකට මුහුණ දෙන්න බලාගෙන මම යන්න සූදානම් වුණා. දුවට සිහිය නැහැ කියපු නිසා ලස්සනට ඇදගෙනත් ගියා, මොකද එයාට සිහිය එනකොට මම ලස්සනට ඇදගෙන හිටියෙ නැත්නම් එයාට දුක හිතෙයි කියල.

ඒත් එක්කම ස්ටෑන්ඩ් එක උඩ තියල තිබුණු දුවගෙ පොටෝ ටික එක පිට එක වැටුණා. මම ඒ ටිකත් හරියට පෙළ ගස්වන්න කියලා එයාර්පෝර්ට් යන්න කියල සෙරෙප්පුව දාන්න හදනව හදනව ඒත් සෙරෙප්පුව පෙර­‍ෙළනවා දාගන්න බැහැ,

මොන බාධාවක්ද කියල හිතල ඒක දාගන ඉවර වෙනකොට කෝල් එකක් ආව මගේ ෆෝන් එකට, මම දන්නෙ නැහැ ඇයි කියල ඒ කෝල් එක මම ආන්සර් කළේ නැහැ. පුතාට කිව්ව ආන්සර් කරන්න කියල, ඒක ආන්සර් කරපු පුතයි මහත්තයයි දෙන්නම විලාප දිදී අඬන්න ගත්තා, මම එයාලට කිව්වා අපේ දුවට කිසිම කරදයක් වෙන්නේ නැහැ, එයා දැන් හොඳ තත්ත්වයෙන් කියල කෝල් එකක් එයි කියල.

ඒත් එක්කම මගේ ඉදිරිය සේරම බොඳ වෙනව වගේ දැනුණා, මතකය ගිලිහිලා යන්න පටන් ගත්තා, කිසිදා සිදු නොවුණු තේරුම් ගන්න බැරි මොකක්ද මගේ වටේ කැරකෙනව වගේ දැනුණා.

ගෙදර බිත්තිවලට ගාන පාට තීරණේ කළෙත් එයයි. මොනව හරි වෙනසක් කරන්න ඕන නම් ඒ ගැන කිව්වෙත් එයයි. මොනෑෂ්වලට ගිහින් දැන් අවුරුදු දෙකහමාරක් වෙනව, තව අවුරුදු 5කින් දොස්තර කෙනෙක් වෙලා ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන්න හිටියෙ. ඒ සේරම සැලසුම් එයා හදල තිබුණෙ. ඒ විදිහෙ පුදුමාකාර සැලසුමක් දුවට තිබුණා, මස් මාළු නොකනව විතරක් නෙමෙයි එයා මදුරුවෙක්වත් මරන්නෙ නැහැ, එහේ බෞද්ධ සමාජයේ එයා මුල් තැනක් අරගෙන කටයුතු කළා, ලංකාවට ආවත් වැඩියෙන්ම යන්න ආස කරේ නුවර.

මම දුවට කියල තිබුණෙ මම ඔයාගෙ සර්වන්ට් වෙන්නම් කියලා, දරුවො බලාගෙන දුව ඉන්න ගෙදර හරි, නැත්නම් එයාලට කරදරයක් නම් කිට්ටුව වෙනම ගෙදරක හරි ඉන්නම් කියල, එයා ඈත්වෙනවට මම කැමැති වුණේම නැහැ, පොඩි ඉරිසියාවකුත් ඇතිවුණා එයා විවාහ වෙලා මගෙන් ඈත් වෙනව කියල දැනුනහම, ඒත් මගේ හිතේ දුක දන්න අය මට කිව්වෙ ඔයා අම්මගෙන් වෙන් වෙලා ආව වගේ ඔයාගෙ දුවත් කවද හරි වෙන්වෙලා යන්න ඕන කියල, ඒකෙන් මගේ හිත ටිකක් හැදුණ. මම බුදු දහම ගොඩක් විශ්වාසයෙන් අදහනව, ඒත් මට හිතාගන්න බැහැ මේ තරම් ආගමට දහමට ළැදි දරුවෙකුට මේ වගේ දෙයක් වුණේ ඇයි කියල, ඒ වුණත් මම අද ඉදල බුදු දහම ගැඹුරින්ම අදහනව,

දුව එයාගෙ ආදරවන්තය ගැන මගෙන් ඇහුවෙ අවුරුදු 15දි, මම ඒවෙලා‍ෙව දුවට කිව්වෙ ඔයා තවම ඉස්කෝලෙ යනව, ඒ නිසා මම ඒ සම්බන්ධයට කැමති 50%ක විතරයි කියල, මම සමාජය ගැන නොදන්න අම්ම කෙනෙක් නෙමෙයි, ඒත් දුවගෙ හිත රිදෙයි කියල එක පාරටම එයාගෙ අදහසට විරුද්ධව කතා කළේ නැහැ, එයාට තේරෙන්න දුන්නා කළ යුත්තේ මොකද්ද කියල, එයා මැලේසියාවට ගියාට පස්සෙ ඇහුව ඒ ගැන අම්මගෙ දැන් අදහස මොකක්ද කියල, ඒ වෙලාවෙ මං කිව්වෙ දැන් 70%ක් කැමතියි කියල, ඉතිරි ටික ඔයා අවුරුදු 5දි තේරුම් ගත්තයින් පසුව කියන්නම් කියල කිව්ව,

මම ඒ පුතාවත් හොඳින් දන්නව, එයත් ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ, දුව වෛද්‍යවරියක් වුණාට පස්සෙ දෙන්නම ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන්න හිටියෙ.

දුවට අඩුයි කියන කිසි දෙයක් තිබුණෙ නැහැ, එයා ලබන 3 වෙනිදා ලංකාවට එන්න හිටියෙ, මට කිව්ව අම්මෙ මං සිංගප්පූරුව හරහා එන්නද මට ආසයි එහේ ගිහින් එන්න කියල, ඒකට ලංකාවෙ මුදලින් ටිකට් එකේ ගාණ තවත් 75,000ක් විතර වැඩිවෙනව. මම කිව්ව කමක් නැහැ මම කොහොම හරි සල්ලි සොයල දෙන්නම් එහෙම එන්න කියල, එයාට ඉල්ලුව 14 + අලුත් ෆෝන් එකක්, අනික් අයත් ඔක්කොම දැන් ඒ ෆෝන් පාවිච්චි කරන්නෙ කියල, මම ඒකත් අරන් දෙන්නම් කිව්ව, කැම්පස් එකට මාසෙකට රුපියල් ලක්ෂ 12ක් ගෙවන්න ඕන. මම දවල් රෑ නැතිව මහන්සි වෙලා ඒ වියදම හොයල දෙනවා.

දුව ඔය කැම්පස් එකට ගිහින් මිසක් කොහේවත් තනියෙන් යවල නැහැ; ගිහිනුත් නැහැ, මම එයාගෙ ආරක්ෂාව උපරිමව සැලසුවා. අයියත් තාත්තත් එහෙමයි.

සැප කියන්නෙ සල්ලි නෙමෙයි කියලයි මම දුවට කියල තිබුණෙ. එයත් ඒ ගැන තේරුම් අරගෙනයි කටයුතු කළේ. ඒත් දැන් සේරම වෙනස් කරලා එයා යන්න ගියා. මට නිදි බෙහෙත් බීලත් දැන් නින්ද යන්නේ නැහැ. එදා මැලේසියාවෙන් පණිවුඩය එන්න තව පැය දෙකක් තුනක් විතර පරක්කු වුණානම් මම ප්ලේන් එකේ. එහෙම වුණානම් මට හිතාගන්න බැහැ මොනව කරන්නද කියලා, නොදන්න රටකට තනියම ගිහින් මම මොනව කරන්නද? තරුණ දුවෙක් නැතිවුණ අම්ම කෙනකුට මොනවද කරන්න පුළුවන්, ඇත්තටම මම පටාචාරා වගේ පිස්සුවෙන් දුවයි. මටත් හාට් ඇටෑක් හැදෙන්නත් තිබුණා එහෙම වුණානම්.“

(සාකච්ඡා සටහන - තාරක වික්‍රමසේකර)