colombo-university-theft

කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිළියට ඇතුළු  වී නීති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බෑගයේ තිබූ රුපියල් දහතුන්දහසක මුදලක් සොරා ගත්තැයි කුරුඳුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර 3 වන පියවර පදිංචි ආරියවංශ මුදියන්සේලාගේ ශෂික මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වී එහි කාන්තා වැසිකිළියට අනවසරයෙන් ගොස් එහි දොරගුලු කඩා මෙම සොරකම සිදුකර ඇති බවත්,

සැකකරු ස්ථානයට ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් සිටින බවත් කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරුට අධිකරණ ගණනාවක සොරකම් කිරීම්ම්වලට අදාළ පවතින නඩු විශාල වශයෙන් පවතින බව ද කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පැමිණිලිකාරිය සිය දේශන නිමවීමෙන් පසු විශ්වවිද්‍යාල භූමියේ තිබූ කාන්තා  වැසිකිළියට ගොස් එහි දොර වසා සිය අත් බෑගය මේසයක් මත තබා වැසිකිළියට ඇතුළු වී ඇති බවත් නැවත පැමිණ බැලීමේ දී මෙම සැකකරු අත් බෑගය අවුස්සමින් සිට ඇය දැක පලා ගොස් ඇති බවත් පොලිසීය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 394,-369,-443 යන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
නිමන්ති රණසිංහ