malaysia-renuka

සංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරත වූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වැනි දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ පදිංචිව සිටි මා කලන්දනගේ දොන් රේණුකා නිලන්ති බණ්ඩාර නමැති 44 හැවිරිදි එක් දරු මවකි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජාඇල ප්‍රදේශයේ පදිංචි විදේශ රැකියා සපයන්නෙකු මාර්ගයෙන් ඇය සංචාරක විසා මිත මැලේසියාව බලා ගොස් ඇති බව වාර්තා වේ.
සංචාරක වීසා මත ගොස් එම රටේදී රැකියාවක් ලබා දෙන බවට රැකියා ඒජන්තවරයා පොරොන්දු වී ඒ සඳහා ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.


ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ ද්විත්ව පුරවැසිභාවය නිමි ද්‍රවිඩ කාන්තාවක විසින් එරට නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යන රැකියා ඒජන්සියකට මෙම කාන්තාව බාරදී ඇති අතර එහිදී ඇයට පොරොන්දු වූ ආකාරයට කිසිඳු වැටුපක් නොගෙවා මරණයට පත්වන තෙක්ම කිසිඳු වැටුපක් නොගෙවා දිනපතාම විවිධ ස්ථාන වලට සේවය සඳහා යොමු කර ඇති බවද පැවසේ.
පසුගිය 23 වැනි දින රාත්‍රියේ අවසන් වරට ඇය තම එකම පුතුට දුරකථන මාර්ගයෙන් කතා කර තමන්ට තවදුරටත් එරට රැඳී සිටිය නොහැකි බවද පිරිසක් තමන්ට කරදර කරන බවද දන්වා ඇත. එම දුරකථන සංවාදයෙන් පසුව ඇය නැවතී සිටි එරට විදේශ රැකියා ආයතනයට අයත් මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ පිහිටි නේවාසිකාගාරයේ ජනේලයකින් පහළට ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තා වී තිබේ.
ඇය තම පුතුට පැවසූ ආකාරයට කරදර ඉවසාගත නොහැකිව සියදිවි හානි කර ගැනීම සඳහා එම ගොඩනැගිල්ලෙන් පැන්නද නැතිනම් කවුරුන් හෝ ඇය පහළට තල්ලු කර දැමුවාද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව කියයි.


මියගිය කාන්තාවගේ සිරුර මැලේසියාවේ ශ්‍රී මටජාන් ප්‍රදේශයේ පීපීයූඑම් රෝහලේ තබා ඇති බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු සඳහන් කළේ කිසිදු අවස්ථාවක සංචාරක විසා මත ගොස් මැලේසියාව ඇතුළු බොහෝ රටවල රැකියා ලබාගත නොහැකි බවට කාර්යාංශය මඟින් නිතරම ජනතාව දැනුවත් කිරීම් කළද ඒ බව දැන දැනම වංචාකරුවන්ට හසු වීමෙන් පසුව මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ පාන බවත්ය.
මිය ගොස් සිටින කාන්තාවගේ සැමියාද දිගු කාලයක් මැද පෙරදිග රටක සේවය කර පැමිණි අයකු බව කියයි.

(පුෂ්පකුමාර ජයරත්න සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)