hambantota-court-case

නීත්‍යනුකූලව විවාහයෙන් වෙන්වී සිටි බිරිඳ වෙන අයෙකු විවාහ කරගැනීමට යාම බලා සිටීමට නොහැකිව ඇය පැහැරගෙන ගොස් ඇසිඩ් පොවා ඝාතනය කිරීමට තැත්කළ සැමියෙකුට වසර 10කට අත්හිට වූ සිරදඬුවමක්, රුපියල්  15,000ක දඩයක් හා රුපියල් ලක්ෂ 12ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ (24දා) නියෝග කෙරුණි.  අම්බලන්තොට පදිංචි 42 හැවිරිදි එක්දරු පියෙකුට මෙසේ දඬුවම් නියම කෙරිණි. චූදිත 2015.09.01 දින  විවාහයෙන් දික්කසාද වී සිටි  ගුරුවරියක වු සිය බිරිද පා  ගමනින් උදෑසන පාසලට යමින් සිටි අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණ අම්බලන්තොට නෝනාගමදී පැහැරගෙන ගොස් තිබේ.



බිරිද වෙනත් අයෙකු හා විවාහ වීමට සූදානම් වීම හේතුවෙන් තමන්ට එය බලාගෙන ඉන්න බෑ කියා චුදිත ඇසිඩ් බෝතලයක් එළියට ගෙන දික්කසාද වි සිටි බිරිඳට බලහත්කාරයෙන් පොවා තිබේ. එහිදී දෙදෙනා අතර ඇති වූ පොරබැදීමේදී චූදිතගේ සිරුරටද ඇසිඩ් වැටී තුවාල වී තිබේ. සිරුරට ඇසිඩ් වැටීමෙන් අසාධ්‍යව ඇඹිළිපිටිය ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි  ත්‍රිරෝද රථයක පිරිසක් විසින් චූදිත හා බිරිඳ ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු රෝහල් පොලීසිය මගින් අම්බලන්තොට පොලීසියට සිදු කළ දැනුම් දීම මත සිදු කළ විමර්ශනවලට අනුව දික්කසාද වී සිටි සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. එහිදී පැවති මූලික නඩු  විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව අධිචෝදනා දෙකක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. ඒ අනුව නඩු විභාගය ආරම්භයේදීම අදාළ චෝදනා සදහා චූදිත වරද පිළිගැනීමෙන් මහාධිකරණ විනිසුරුවරයා චූදිතට දඬුවම් නියම කළේය.

ඒ අනුව චෝදනා දෙක සදහා චූදිතට වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය වසර 10ක කාලයක් සදහා අත්හිටුවන ලදී .

ඊට අමතරව චෝදනා දෙක සඳහා රුපියල් 15000ක දඩ මුදලක්ද නියම කළ අතර චූදිත දඩ නොගෙවන්නේ නම් මාස 17ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි. එමෙන්ම අගතියට පත් රිදට රුපියල් ලක්ෂ 12ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා චූදිතට නියම කළ අතර චුදිත එය නොගෙවන්නේ නම් ඉහත දඬුවම්වලට අමතරව  වසර 05ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

නුවන් ජයසේකර