kosgoda-incident

මව ඉදිරිපිටදී 26 හැවිරිදි ආබාධිත දියණිය නිරුවත් කර ඇයට අතවරයක් කර පහරදුන් බව කියන කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්තව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම ආබාධිත තරුණිය සහ ඇගේ මව මහඉදිරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්,

ඔවුන් වසර 2 ක පමණ කාලයක සිට කොස්තාපල්වරයාගේ නිවෙසේ ඔහුගේ රෝගී වූ මව බලා ගනිමින් නිවෙසේ වැඩ කටයුතු කරන බවද පොලිස් ආරංචි  මාර්ග පවසයි.

ඉකුත් 20 වැනිදා මෙම කොස්තාපල්වරයා නිවෙසට පැමිණ සිටි අවස්ථාවේ ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් 10,000 ක මුදලක් මෙම මව හා දියණිය ගෙනඇති බව සැකකර ඔවුන් කාමරයකට කැඳවා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. එහිදී සැකකාර කොස්තාපල්වරයා ආබාධිත තරුණියගේ ඇඳුම් සියල්ල සිය මව ඉදිරියේ ඇගේ විරෝධය මැද ඉවත්  කර ඇය පරීක්ෂාවට ලක් කර ඇති බවද කියති. සැකකරු පසුව මෙම තරුණියගේ සිරුර ස්පර්ශ කරමින් ඇයට විවාහ යෝජනාවක් කර ඇති බවත් තරුණිය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත්, සැකකරු එම තරුණියට පහර දී ඇති බවත් පොලිසිය පවසයි.



මව ඉදිරිපිටදීම තමන් නිරුවත් කර අතවරයක් සිදු කළ බවට තරුණිය 20 වැනිදා කොස්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලේ මෙම තොරතුරු සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.තරුණිය මෙම පැමිණිල්ල කිරීමට කලින් දිනයේ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බිය තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වී ඇති බවට කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. අතවරයකට ලක් වූයේ යැයි කියන 26 හැවිරිදි ආබාධිත තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය  කියයි. කොස්ගොඩ පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
ඉන්දිකා රාමනායක