ගම්පහ නගරයේ උපකාරක පන්තියකට සහභාගි වූ 19 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව ගණිත විෂය ඉගැන්වීමේ  පෞද්ගලික පන්ති ගුරුවරයෙකුට එම උපකාරක පන්තිය තහනම් කිරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ හදාරන තම දරුවා උපකාරක පන්තිය අවසන්ව නිවස බලා එමින් සිටියදී එම උපකාරක පන්තියේම  සිසුන් දසදෙනෙකුට අධික පිරිසක් පැමිණ ගම්පහ දුම්රිය ස්ථානය අසලදී පහරදුන් බවට සිසුවාගේ පියා විසින් පොලීසියට පැමිණිලි කොට තිබිණි.



මෙම පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ මව ප්‍රකාශ කොට සිටියේ, තම දරුවාට කලින් ගණිත විෂය ඉගැන්වීම සිදු කළ උපකාරක පන්ති ගුරුවරයා විසින් පෙළඹවීම මත එම සිසුන් පිරිසක් වටකර පහරදීම සිදු කළ බව දරුවා පැවසූ බවත්ය. පහරදීමට පෙලඹවීම කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයාගෙත් නිවසේදී සහ උපකාරක පන්තියේදී ගණිත විෂය හදාරා පසුගිය දෙසැම්බර් මාසයේදී පන්තිය නතර කිරීම හේතුවෙන් එම ගුරුවරයා උරණව සිටි බවද මව සඳහන් කළාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පියා විසින් ගම්පහ පොලීසියෙහි ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ බවත් දරුවාට ප්‍රතිකාර ලබාදීමට වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බවත් ඇය පැවසුවාය. සිසුවා රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් වතුපිටිවල මූලික රෝහලෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ කලන්තය ඇතිවීම සහ තැළීම් තත්ත්ව මත රෝහල්ගත වූ එම සිසුවා ප්‍රතිකාර ලබා දෙදිනකට පසුව පිටව ගිය බවය.



මෙම පහරදීම සම්බන්ධයෙන් පහරදීම සිදු කළ බව කියන සිසුන් පිරිස සහ පෙලඹවීම සිදු කළ බව කියන 32 හැවිරිදි පෞද්ගලික පන්ති ගුරුවරයාත් පහරකෑමට ලක්වූ සිසුවාගේ පියාත් පොලීසියට කැඳවා පරීක්ෂණ සිදු කොට සිසුන් පිරිස උසස් පෙළ හදාරන බැවින් දෙපාර්ශ්වය සමථයකට පත් කළ බවත් ඉගැන්වීම සිදු කළ උපකාරක පන්තියෙහි සෙසු ගුරු මණ්ඩලය සහ පොලීසිය මගින් ගනු ලැබූ තීරණය මත ගණිත ගුරුවරයාට එම උපකාරක පන්තිය තහනම් කිරීමට පියවර ගත් බවත් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පැවසීය.
තිලකරත්න දිසානායක