bakery-product-price

ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි මිල ඉහළ ගියද, කිසිදු බේකරි නිෂ්පාදනයක මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට තුළ ක්‍රියාත්මක වන තිරිඟු පිටි සමාගම් දෙකේ නිෂ්පාදනය කරන තිරිඟු පිටි මිල ඉහළ දැමීමක් සිදුකර නොමැති බවත්, මේ නිසා අදාළ තිරිඟු පිටි භාවිත කර නිෂ්පාදන කටයුතු සිදුකරන බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. තිරිඟු පිටි හා සීනි මිල  ඉහළ දැමීමට තොග වෙළෙඳුන් කටයුතු කළද, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නිෂ්පාදය කරන රසකැව්ලි හෝ බයිට් වර්ගවල මිල ඉහළ දැමීමක් සිදුනොවන බවද සමස්ත ලංකා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

රුපියල ශක්තිමත් වෙමින් තිබියදී සීනි හා තිරිඟු පිටි මිල ඉහළ යාම විශාල ගැටලුවක් බවත්, මේ නිසා මේ පිළිබඳ රජය සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය. තිරිඟු පිටි කිලෝවක  මිල රුපියල් 10කින් හා සීනි කිලෝවක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ආනයනකරුවන් කටයුතු කර තිබේ.

එච්.අයි. තුෂාර