diana-lotus-tower-singapore

කොළඹ නෙළුම් කුළුනේ වර්ග අඩි 44,000 ක දෙවන මහල සඳහා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ සහාය ඇතිව සිංගප්පූරු සමාගමක් සමඟ කැසිනෝ සහ විනෝදාස්වාදක ප්‍රදේශයක් පිහිටුවීම සඳහා කුලී ගිවිසුමකට එළඹී නමුත් එම ගිවිසුමට එළැඹි පාර්ශ්ව පසුබැස තිබෙන අතර නියමිත දිනට අවශ්‍ය තැන්පතු නොකර ගිවිසුම මගහැර අතැර ගොස් ඇත. මේ හේතුවෙන් නව ආයොජකයින් සොයමින් සිටින බව වාර්තාවේ.



සිංගප්පූරු Kreate Design PTE සමග පසුගිය වසරේ Lotus Tower Management Company (LTMC) සමඟ කුළුණු පාදමේ ඇති පුළුල් තට්ටුව සඳහා  ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. අත්සන් තැබීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ එක්වූවාය.එහිදී ඇය කියා සිටියේ  COVID-19 වසංගතයෙන් පසු මෙරට සඳහා සිදු කරන විශාලතම ආයෝජනය එය වනු ඇති බවය.



නමුත් ගිවිසුමට මාස තුනක් ගතවී ඇතත්, එහි කොන්දේසි එකී සමාගම මගින් සපුරාලනු ලැබුවේ නැත.විමසා සිටි විට ඔවුන් කළ ඉල්ලීම මත තවත් මාසයක දිගුවක් ලබා දුන් නමුත් මෙයද කල් ඉකුත් වී ඇති බව LTMC ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව කැසිනෝ සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන ගිවිසුම අතැර දමන්නට සිදුව ඇති අතර  "කුලී පදනමින් වෙනත් ව්‍යාපාරයකට යෝජනා කැඳවා ඇති බවත් කැමති අයෙකුට ලංසු තැබිය හැකි බවත්“ මේජර් ජෙනරාල් සමරසිංහ පැවසීය. "එය කැසිනෝ ශාලාවක් සඳහා පමණක් විය යුතු නැත, එය ඕනෑම ආකෘතියක් විය හැකිය." ඔහු දන්වා ඇත.
දැනටමත් ඕමාන ආයෝජකයකු  ඉන්දියානු ආයෝජකයෙකු මේ ගැන විමසා ඇති බව ඔහු කීය.
නෙළුම් කුළුණේ සැලකිය යුතු ඉඩක් දැනටමත් ආහාර සැපයුම්කරුවන්ට සහ වෙනත් අයට කුලියට දී ඇත. 

නෙළුම් කුලුනේ දෙවැනි මහල ඇතුළු ස්ථාන කිහිපයක් සිංගප්පූරු සමාගම වෙත වසර 10ක් සඳහා බදු දෙන්නට ගිය අතර, ඒ අනුව වාර්ෂික ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 522ක මුදලක් කුලියක් ලැබෙන බව පවසා තිබුණි.


නොවැම්බර් 18 පැවති උත්සවයේදී සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පෙන්වා දුන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීම සඳහා සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම ඉදිරිපත් වී සිටින බවත් මෙය වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේ දී වැදගත් අවස්ථාවක් බවත්ය.
නමුත් ඒ දේවල් සිද්ධ වූයේ නැත.
ඊට මාසයකට පෙර පසුගිය 2022 ඔක්තෝබර් මාසයේදී ලෝකයේ දැනට ඉහළින්ම පිළිගැනෙන තේමා උද්‍යාන ජාලාවක් (Theme Park) වන ඩිස්නිලන්ත ශාඛාවක් ලංකාවේ මත්තල පිහිටුවීමට තමා කටයුතු කරන බව රාජ්‍ය ඇමතිනි ඩයනා පවසා තිබූ නමුත් එම ප්‍රකාශයද බොරු විය.
සති කිහිපයකට පසු ඇමරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගමේ නිල නියෝජිතයෙකු ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් කළ විමසීමකදී පැවසුවේ ශ්‍රී ලංකාවේ උද්‍යානයක් විවෘත කිරීමට දැනට සැලසුම් නොමැති බවයි. එවැනි කිසිදු දෙයක් ගැන ඔවුන් දැනුවත් නැති බවද පවසා තිබුණි.