
ඊයේ රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පූරුව බලා යන්නට සූදානමින් සිටි යූටියුබ් ප්‍රහසන ශිල්පිණී ජයනි නතාෂා එදිරිසූරිය පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අද (28) පැවති පොලිස් මාධ්‍ය හමුවකදී ඇය අත්අඩංගුවට ගැනීම පැහැදිලි කර තිබෙයි.
පසුගිය අප්‍රෙල් 01 වන දින මෝඩාභිමානය නමින් කොළඹ බිෂොප් විද්‍යාලයීය ශාලාවේ පැවති වැඩසටහනකදී ‘සුද්ධෝදනගේ පොඩි එකා‘ යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට අනුව වරදක් සිදුකර තිබීම නිසා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පනතේ 03 වන වගන්තිය අනුව ජාතීන් අතර හෝ ආගමික නොසන්සුන්තාවයක් ඇති වන ප්‍රකාශ සිදුකිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
අත්අඩංගුවට පත් ඇය පොලිස් සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇත.
31 හැවිරිදි නතාෂා එදිරිසූරිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නම් පුද්ගලයෙකු ද ඇය සමග දිවයිනෙන් පිටත්ව යාම සදහා සූදානමින් සිටි බව පොලිසිය පවසයි.ඔවුන් දෙදෙනා මැලේසියානු ගුවන් යානයකින් ක්වාලාලම්පූර් වෙතත් එතැන් සිට සිංගප්පූරුව බලාත් පිටත්ව යාමට සැළසුම් කර තිබූ නමුත්
නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැතුම් බණ්ඩාර නමැත්තා ගුවන් ගමන අතහැර නැවත නිවෙස් බලා ගොස් ඇත.
අත්අඩංගුවට පත් නතාෂා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිතය.
අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝවක් මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval