canada-wtc-office-arrested

කැනඩාවේ ක්ලිම්ප් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වීසා දෙන බව පවසා රුපියල් කෝටි 60කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.  වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පොලිස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ වංචාවට හසු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු වන අතර සැකකාරිය කඩුවෙල පදිංචි 47 හැවිරිදි සිංහල කාන්තාවකි. මොවුන් දෙදෙනා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ හය වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මාස 15ක පාඨමාලාවක් සඳහා කැනඩාවේ ක්ලිම්ප් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසමින් මෙම මහාපරිමාණ වංචාව සිදු කර ඇති බව පොලිසිය කියයි. විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින් ඔවුන් මේ වංචාව සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා මෙම ආයතනයේ කොටස්කරුවකු වන අතර කාන්තාව අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කර තිබේ.

බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව අසලදී පුද්ගලයකු පහර දුන් බවට සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගෙන් ලද පැමිණිල්ලක් අනුව ඔවුන් තිදෙනාම තලංගම පොලිසිය වෙත රැගෙනවිත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මහාපරිමාණ වංචාවේ තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

පහර දුන් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ දරුවකු කැනඩාවේ ක්ලිම්ප් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට යවන බව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගෙන දිගින් දිගටම එම පොරොන්දුව මඟහැරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ඔවුන්ට විරුද්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කොළඹ සහ පිටස්තර ප්‍රදේශවල වංචා විමර්ශන අංශ වෙත පැමිණිලි රාශියක් ලැබී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ ආකාරයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 400කට වැඩි පිරිසක් මේ වංචාවට හසු වී ඇතැයි අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි 6ක් ලැබී ඇති අතර කොටුව පොලිසියට ඊයේ (23) වන විට 72ක් පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ තිබේ.

ඒ අයගෙන් කොටසකගේ පැමිණිලි ලියාගෙන ඇති අතර තවත් පිරිසකගේ පැමිණිලි ලියා ගැනීමට තිබෙන බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ඔවුන්ට විරුද්ධව මුල්ම පැමිණිල්ල වත්තල ප්‍රදේශයේ පදිංචි අයකුගෙන් ලැබී ඇති අතර එය ලක්ෂ 13ක වංචාවක් සම්බන්ධයෙනි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ඩබ්ලිව්. වික්‍රමසේකර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ඒකක දෙක මඟින් විමර්ශන සිදු කෙරේ.


බණ්ඩාරගම - බිමල් ජයසිංහ

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
Canada පෙන්නා මුදල් ගැරූ WTC ඔෆිස් එක වසා ඇතැයි වංචාවට ලක්වූ පිරිස් කොටුව පොලිසියට