city-link-global-office-close

කැනඩාවේ උසස් අධ්‍යාපන වරම් ඇතුළු රැකියා ලබා දෙන බවට දැන්වීම් පලකරමින් රුපියල් කෝටි ගණනක් වංචා කරමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ පවත්වාගෙන ගිය බව කියන සිටි ලින්ක් ග්ලෝබල් ආයතනය වසා දමා එහි නිලධාරීන් පලා ගොස් ඇති බව ඊයේ (17 වැනිදා ) අනාවරණය විය.


මෙම ආයතනය මගින් වංචාවට ලක්වූ පිරිස් කොටුව පොලිසිය සමග එම ස්ථානයට ඊයේ (17 වැනිදා) පැමිණියද ඒ වනවිටත් එම ආයතනය වසා දමා තිබිණි.

එලෙස වසා දමා තිබීම හේතුවෙන් මේ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා එම පිරිස කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ගිය අතර එහිදී පැමිණිලි 50කට අධික සංඛ්‍යාවක් ගොනු කෙරිණි.

අනුතුරුව එම කාර්යාංශයේ නිලධාරීන් අසාධාරණයට ලක් වූ පිරිසට දැනුම් දී ඇත්තේ අදාළ ආයතනයේ නිලධාරීන් කඩිනමින් සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා කොටුව පොලිසියට ගොස් නැවත පැමිණිලි කරන ලෙසය.

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් 50 දෙනෙකුට අධික පිරිසක් කොටුව පොලිසියට පැමිණිලි කෙරිණි.



සිටි ලින්ක් ග්ලෝබල් නමැති ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කොටසේ පවත්වාගෙන යන මෙම ආයතනය මගින් වංචාවට ලක්වූ උගතුන් 450ක් පමණ මේ වනවිට නීතියේ සරණ පතා ඇතැයි අසාධාරණයට ලක්වූවෝ අරුණට පැවසූහ.

කෙසේ වෙතත් මෙවැනිම ආකාරයේ වංචාවන් සිදු කළ ආයතන පිළිබඳ තොරතුරු රැසක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඊට ආසන්නතම ආයතනය වන්නේ තිලිණි ප්‍රියමාලි විසින් පවත්වාගෙන ගිය තිකෝ සමූහ ව්‍යාපාරයයි.

චාමර පල්ලේගෙදර