aththanagalla-incident

අනතුරකින් බරපතළ තුවාල ලබා ඇති පනස් අට හැවිරිදි ගොළු පුද්ගලයෙකු අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථයෙන්ම රෝහලකට රැගෙන යන මුවාවෙන් ගෙන ගොස් පාළු ස්ථානයක බිම දමා පැන ගොස් සිටි සැකකාර අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනෙකු මේ මස 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා ඉකුත් 14 අලුත් අවුරුදු දා පස්වරුවේ නියෝග කළේය.
කිරිඳිවැල උඩගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන රියදුරු එච්. කේ. කවිෂ්ක සඳරුවන්, අඹු සැමියන් වන ටී.ඇම්. රංජිත් සිසිර කුමාර හා ආර්. පී. සදීකා ශ්‍යාමලී යන තිදෙනෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

මොවුන් තිදෙනා පසුගිය 12 වනදා පස්වරුවේ උණගහදෙණිය වල්ගම්මුල්ල මාර්ගයේ උණගහදෙණිය දෙස සිට වල්ගම්මුල්ල දෙසට ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී කහටෝව්ට පාලම ආසන්නයේදී පයින් ගමන් කරමින් සිටි කහටෝවිට පදිංචි පනස් අට හැවිරිදි මොහොමඩ් සලීම් මුස්කි ඉක්බාල් නැමැති කතා කිරීමට නොහැකි ගොළු පුද්ගලයෙකුගේ හැපී අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබිණ.


එම පුද්ගලයා ත්‍රිරෝද රථයේ හැපී බරපතළ තුවාල සිදු වී සිහිසන් නොමැතිව බිම වැටීමත් සමග එහි පිටුපස අසුනේ සිටි අඹු සැමි යුවළ එයින් බැස තුවාලකරු වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන මුවාවෙන් ඔසවා ත්‍රිරෝද රථයේ දමා ගෙන ගොස් මාතලාන ප්‍රදේශයේ පාළු ස්ථානයක

ඔහු බිම දමා මොවුන් තිදෙනා ත්‍රිරෝද රථයද රැගෙන පැන ගොස් සිටියදී නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය දින දෙකක් තිස්සේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය අත් අඩංගුවට ගත් බවද විවෘත අධිකරණයේදී අනාවරණය විය.
නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක පී ඩී මංජුල රාජපක්ෂ මහතා කරුණු දක්වමින් සැකකාර අඹු සැමි යුවළ ඇතුළු තිදෙනා ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයේ පයින් ගමන් කරමින් සිටි ගොළු පුද්ගලයා ගේ හැපීමෙන් අනතුරුව ඔහුගේ හිසට බරපතළ තුවාල සිදු වී සිහි සන් නොමැතිව බිම ඇද වැටීමත් සමග සැකකාර අඹු සැමි යුවළ ත්‍රිරෝද රථයෙන් බැස තුවාලකරු ඔසවා ත්‍රිරෝද රථයේ දමා ගෙන වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් මාතලාන ප්‍රදේශයේ පාළු ස්ථානයක ඔහු බිම දමා ගොස් සිටි බව ද පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවත් කියා සිටියේය.

එම අවස්ථාවේම ලද තොරතුරකට අනුව රථ වාහන අංශයේ පොලිස් සැරයන් වරුන් වන සුමේධ 2035 හා වැලිදෙනිය 7986 යන නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක වී බිම දමා ගොස් සිටි තුවාල කරු ගම්වාසීන් ගේ සහායෙන් වතුපිටිවල මූලික රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවද උප පොලිස් පරීක්ෂකවරයා කීය.



එම පොලිස් නිලධාරීන් දෙදෙනා අනතුර සිදුවී ඇති ප්‍රදේශයේ සී සී ටී වී කැමරා හතක් පරීක්ෂා කිරීමේදී පලා ගිය ත්‍රිරෝද රථයේ අංකය හඳුනා ගෙන ඒ ඔස්සේ ත්‍රිරෝද රථය පලා ගිය මග ඔස්සේ සී සී ටී වී කරමින් දින දෙකක් තිස්සේ කරන ලද පර්ක්ෂණ අවසානයේ කිරි ඳිවැල උඩගම මොවුන් පදිංචි ස්ථානය සොයා ගොස් ත්‍රිරෝද රථයත් සමග මොවුන් තිදෙනා අත් අඩංගුවට ගත් බවද උප පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් අනතුරින් ත්‍රිරෝද රථයේ බිඳී ගොස් තිබූ ඉදිරිපස වීදුරුව මාරු කර තිබූ නමුත් එහි වම් පස කැඩී ගොස් ඇති ස්ථානය යතා තත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිට ඇති බවත් උප පොලිස් පරීක්ෂකවරයා සදහන් කළේය. පොලීසියේ කරුණු දැක්වීම් වලින් අනතුරුව එසේ සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය ඊමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කැරිණි. නැවත කැඳවීම මේ මස 24 වනදාට කල් තැබිණ.