vihangana-donations

 විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය.
මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී එලෙස සිදුකළ සාර්ථක වූ ප්‍රථම සැත්කම ද මෙය විය. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් එය සිදු කර තිබේ.
නමුත්, මොළය මියගිය පුද්ගලයකුගෙන් ලබා ගත් අවයව කොටස් දෙකක් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියකුට බද්ධ කර නැවත ජීවිතය ලබා දීමේ සුවිශේෂී සැත්කමක් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සිදු කෙරිණි.
කුරුණෑගල මලිය⁣දේව බාලිකා විදුහලේදී උසස් පෙළ හදාරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු වෙනත් රෝගියකුට එලෙස බද්ධ කෙරිණි. මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම තවත් සුවිශේෂී සිදුවීමකි.



මීට පෙර මෙරටදී සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවත්, මෙවර අවයව දෙකම එකවර බද්ධ කර තිබේ.
විහඟනාගේ සිරුරෙන් අවයව ලබා ගන්නා අවස්ථාවේදී පැය බාගයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණද එය බාධාවක් නොකර ගත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම ඉතා සාර්ථකව ඇයගෙන් අවයව වෙන් කරගෙන ඇත.
මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබේ. ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට සාර්ථකව බද්ධ කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව ප්‍රකාශ කළේය.
මෙම දැරියගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.

මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5ක් පුද්ගලයන් හත්දෙනකුටම තවත් කලක් නිරෝගීව සිටීමට උපකාර වී තිබේ. විහඟනා සිදු කළ මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් ඇයට උපහාර පුද කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ලිපියක් ද නිකුත් කර තිබේ.

විහඟනාගේ අවයව බද්ධ කරනු ලැබූ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව සඳහන්ය.



විහඟනා ආරියසිංහ යනු අඹන්පොළ නගරයේ පදිංචි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවාය. ඇයට වැඩිමල් සොයුරියක් සහ සොයුරෙක් සිටිති. සොයුරිය මලිය⁣දේව බාලිකාවෙන් උසස් පෙළ සමත්ව වයඹ විශ්වවිද්‍යාලයෙක් උසස් අධ්‍යාපනය හදාරමින් සිටියි. විහඟනා මහව ගජනැග්ගම මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව, පසුව උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම සඳහා කුරුණෑගල මලිය⁣දේව බාලිකා විදුහලට ඇතුළත්ව සිටියාය.

පසුගියදා අවසන්වූ උසස් පෙළ විභාගයට ද ඇය සාර්ථකව පෙනී සිට තිබිණි. ඉන් පසුව ඇය තම සොයුරිය ද සමග ගොස් අනුරාධපුරයේ ඉදි කෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයටද දායක වූයේ හදපිරි සතුටිනි. පිංකම්වලට දායක වීම විහඟනා කුඩා කළ සිටම ඉතා ආසාවකින් කළ දෙයකි.

එම පිංකමට සහභාගි වී ආපසු නිවසට පැමිණි විහඟනා හදිසියේ ඇතිවූ හිසේ අමාරුවක් හා වමනයක් හේතුවෙන් රෝගාතුරව ඇත. ඊට ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය 17 වැනිදා ඇය ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විහඟනා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතු⁣ළත් කර ප්‍රතිකාර ලබා දුන්නද එහිදී සිහිය නොලබාම ඇය මරණයට පත්ව ඇත.

මොළයේ හටගෙන තිබූ පිළිකාවක් නිසා මොළය මිය යාම හේතුවෙන් ඇය මරණයට පත්ව තිබූ බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. බාහිර රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වාම හටගෙන තිබූ පිළිකාව මොළය තුළ ඔඩු දුවා තිබීමෙන් ඇයගේ මරණය සිදුව ඇති බව පැවසේ. පසුව පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට අනුව විහඟනාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට දන් දීම සිදුකෙරිණි.



විහඟනා ඒ වනවිටත් වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම සොයුරිය ද සමඟ එක්ව මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බවද පැවසේ.

අවසනදී ඇයගේ සිරුරු කොටස් දන් දීමේ සිතිවිල්ල සැබෑවක් බවට පත් වූයේ තවත් කිහිපදෙනකුටම දිගු කලක් ජීවත්වීමේ වාසනාව උදාකරමිනි.

විහඟනාගෙන් ලබා ගත් ශාරීරික අවයව ඉතා නිරෝගී තත්ත්වයක පැවැති බැවින් එම අවයව බද්ධ කළ පිරිස දිගු කලක් නිරෝගීව සිටිනු ඇතැයි වෛද්‍යවරු විශ්වාසය පල කළහ.

​‘‘විහඟනා කියන්නේ මගේ පන්තියේ සිටි අහිංසකම සිසුවියක්. එයා අහිංසක වගේම හරිම පරිත්‍යාගශීලී කෙනෙක්. තමන් සතු ඕනෑම දෙයක් අනෙක් අයට නොපැකිලව දීමට තරම් පරිත්‍යාගශීලී කෙනෙක් වුණා. එයාගේ දැඩි විශ්වාසයක් තිබුණා උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා අක්කා වගේම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබන්න. නමුත්, ඒ දරුවාගේ වගේම දෙමාපියන්ගෙත් හීන සියල්ලම බොඳ වෙලා ගිහින් ඉවරයි. ඒත් මේ දරුවා දන් දුන්න ශාරීරික අවයව වලින් මේ වනවිට රෝගී පුද්ගලයන් හය දෙනෙකුටම නිරෝගීව ජීවත් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ මහඟු පිනම ඇති මේ දරුවාට නැවත නිරෝගීමත් ජීවිතයක් ලබන්න’’ යැයි විහඟනාගේ පංති භාර ගුරුවරිය වූ ලක්මිණි සමරකෝන් පැවසුවාය.

(පුෂ්පකුමාර ජයරත්න)