ranil-harved

මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ඉන්දියානු වෙළෙඳපොළ හෝ අප්‍රිකානු වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට විවෘත වීමට බාධා ඇති විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලය සංවිධානය කළ සම්මුඛ සාකච්ඡාවකට පසුගිය 24 වැනිදා සුම් තාක්ෂණය ඔස්සේ එක් ක්වෙමිනි. ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරා ගනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා රට ඔසවා තබනු ඇති බවත් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති, විවෘත ආර්ථිකයක් සහිත කුඩා රටක් වූ අප සෑම විටම සිය දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගෙන යන බවත් සමීපතම අසල් වැසියා සහ දීර්ඝතම සබඳතා ඇති රට වන ඉන්දියාව කලාපයේ ආරක්ෂකයා ලෙස සලකන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පැරණි ආර්ථිකයේ අළු මතින් නැඟී එන ආසියානු කලාපයේ සහ ඉන්දියානු සංවර්ධනය සමඟ අත්වැල් බැඳ ගනිමින් නව ආර්ථිකයක් ගොඩ නැගීමේ කාර්යභාරය ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.