teacher-transfer-issues

ගුරු මාරු මණ්ඩල මාස තුනකට අධික කාලයක් රැස් වී සකස් කළ ගුරු මාරු 7,000කට අධික ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාල විසින් නීතිවිරෝධී ලෙස අත්හිටුවා තිබෙන බව ගුරු සංගම් සඳහන් කරයි. අධ්‍යාපන පද්ධතිය උඩු යටිකුරු කිරීමක් මේ තුළින් සිදුවන බවත්, මේ නිසා මෙම ක්‍රියාවට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බවත් පෙන්වාදෙන එම සංගම්, ඒ පිළිබඳ තීරණය කිරීමට අද (20දා) දින ගුරු සංගම් නියෝජිතයෝ කොළඹදී රැස්වන බවත් ලංකා ගුරු සංගමය පවසයි.



මේ වසරට අදාළ ස්ථාන මාරු ලබාගැනීම සඳහා ගුරුවරුන් 12,500ක් අයදුම්පත් යොමුකර තිබූ බවත්, මේ අනුව විධිමත් ලෙස  මාරු මණ්ඩල රැස් වී ගුරුවරුන් 7,000කට අධික ප්‍රමාණයකට ස්ථාන මාරු ලබාදීමට තීරණය කර තිබෙන බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය. මෙම පිරිස්වලට අදාළ ස්ථාන මාරු පිළිබඳ අප්‍රේල් 04වැනිදාට පෙර ලිපි මගින් දැනුම්දී ලබන මස 18වැනිදායින් පසු ස්ථාන මාරු ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ බවත්, එසේ තිබියදී ස්ථාන මාරු අවලංගු කිර්මට ජනාධිපති ලේකම් කාර්යාල කටයුතු කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. මේ ආකාරයට ස්ථාන මරු අවලංගු කිරීම නිසා ගුරුවරුන්ට දැඩි අසාධාරණ ක්‍රියාවක් සිදුවන බවත්, මේ නිසා වහාම ස්ථාන මාරු ක්‍රියාත්මක කළ යුතු බවත් ඒකාබද්ධ ගුරු සේවා සංගමය සඳහන් කරයි.

 ඉන්දික හේවාවිතාරණ