china-gang-nabbed

සංචාරය සදහා මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක පැහැරගෙන ගොස් ඇය මුදා හැරීමට යුවාන් 15,000ක කප්පම් මුදලක් ඉල්ලා මෙරට සැඟවී සිටින චීන ජාතික අපරාධකරුවන් බවට පැවසෙන කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලිස් සංචාරක කොට්ඨාසය, කොල්ලුපිටිය පොලිසිය සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹ ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කරඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.



කප්පම් මුදල ලබා නොදෙන්නේ නම් පැහැර ගත්  කාන්තාව කාම්බෝජයට රැගෙන ගොස් විකිණීම  සඳහා ඇයගේ වකුගඩු ඇතුළු ශරීර අවයව ලබා ගන්නා බවට තර්ජනය කරමින් ඇමතුමක් ලැබුණු බව කියමින් මෙරට චීන තානාපති කාර්යාලයේ කන්සියුලර් අංශයේ ප්‍රධානි වෝන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාට පැමිණිලි කර ඇත. පැහැර ගත් බව කියන චීන කාන්තාව කොළඹට ආසන්න ප්‍රදේශයක මහල් නිවාසයක රඳවා සිටින බව පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව කියැවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක සහ මත්තල තොටුපොළ බලධාරීන්ද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානද  දැනුවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



පැහැරගෙන ගොස් මහල් නිවාසයක රඳවා ගෙන සිටින බව කියන චීන ජාතික කාන්තාවගේ විදෙස් ගමන් බලපත්‍රයේ අංක සහ අයගේ ඡායාරූපයක්ද චීන තානාපති කාර්යාලයේ කන්සියුලර් අංශය විසින් පොලිසියට ඉදිරිපත් කරනු ලැබ ඇත. චීන ජාතික අපරාධකරුවන් කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලදැයි කියන මෙම චීන ජාතික  කාන්තාව පසුගිය පෙබරවාරි මස 24 වැනිදා මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. මහල් නිවාසයක රඳවාගෙන සිටින බව කියන මෙම චීන ජාතික කාන්තාව සම්බන්ධයෙන් තවම  තොරතුරු ලැබී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය