anguruwatota-incident

කළුතර අඟු‍රුවාතොට බටගොඩ ප‍්‍රදේශයේදී  මංගල සාදයක ඇතිවූ ආරවුලක් ඉන් පිටතදී දුරදිග යාමෙන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමක් වාර්තාවේ.
මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර බටගොඩ වෙල්යායක තිබී සෙනසුරාදා අලූ‍යම සොයාගත් බව පොලීසිය පවසයි.

පසුගිය 17 වැනිදා මුල්ගොඩ කන්ද ප්‍රදේශයේ නිවසක මංගල උත්සවයක් පැවැත්විණි. පහතකඩ හා මුල්ගොඩකන්ද ගම්මාන දෙක අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 5ක් පමණ වෙයි. මෙම ගම්මානවල බහුතරය ගොවිතැන් මගින් ජීවත්වන අයයි. පසුගිය 17 වැනිදා මුල්ගොඩ කන්ද ප්‍රදේශයේ නිවසක මංගල උත්සවයට ආරාධනා ලද පහතකඩ ගමේ පිරිසක්ද පැමිණ තිබිණි. මංගල උත්සවය අතරමැද බොහෝ පිරිසක් ආගිය තොරතුරු කතා කරමින් මධුවිත තොලගාමින් විනෝද වෙමින් සිටියහ. මුල්ගොඩ කන්ද ගමේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටින රම්‍යලතාගේ පවුලේ පිරිසද එම අවස්ථාවට එක්වී සිටියහ.

රම්‍යලතාගේ පුතුන් දෙදෙනකුද එහි වූහ. ඔවුන් සමග පහතකඩ සිට පැමිණි පිරිසක තරුණයකු බහින්බස් වීමක් ඇතිව තිබුණි. එය එම අවස්ථාවේ දුරදිග යා නොදී වළක්වා ගැනීමට මංගල උත්සවයේ සිටි පිරිස කටයුතු කර තිබුණි.

එහෙත් රම්‍ය ලතාගේ පාර්ශ්වය එය සලකා ඇත්තේ අවනම්බුවක් ලෙසටය. ඔවුන් එම මංගල උත්සවයෙන් පිටව ගොස් ඇත්තේ වාඩුව ගන්නා බව පවසමින් බව මංගල උත්සවයට සහභාගි වූ ඇතැම්හු පවසති.

මංගල උත්සවය අවසානයේ පෙරේදා (18 වැනිදා) අලුයම පහතකඩ සිට පැමිණි පිරිස සිය නිවෙස්වලට යෑමට මාර්ගයට පැමිණ ගමන් කිරීමට හැකිව ඇත්තේ අඟුරුවාතොට, බටගොඩ හන්දිය දක්වා පමණි. රම්‍යලතාගේ කණ්ඩායම ඔවුන් පැමිණෙන තෙක් රැකවල්ලාගෙන සිට ඇති බව පොලිසිය කියයි. පසුව දෙපිරිස අතර ඇති වූයේ දරුණු ගැටුමකි.

දෙපාර්ශ්වයම තියුණු ආයුධවලින් පහරදීම් සිදු කරගෙන ඇත. ඒ අතරවාරයේ රම්‍යලතා සඟවාගෙන සිටි ඇසිඩ් බෝතලයකින් පහරදීමට කටයුතු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පහතඩ සිට පැමිණි මංගල ප්‍රේමවර්ධන කණ්ඩායමෙන් මගහැරී ඇති බව ඔහුගේ පාර්ශ්වයට හෙළි වී ඇත්තේ ගැටුම අවසානයේදීය. ඔහු සමග පැමිණි පිරිස පරීක්ෂා කර බැලීමේදී යාබදව තිබූ වෙල් යායේ මුනින් අතට වැටී සිටි ඔහුගේ හිසට සහ පාදවල බරපතළ කැපුම් තුවාල සිදුව තිබී ඇත.



රෝහලට ගෙනයාමට පෙර මංගල මියගොස් සිටි බව පොලිසිය පවසයි. ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ ඔහුගේ මුහුණ බරපතළ ලෙස පිලිස්සී තිබී ඇත. අඟුරුවාතොට පොලිසිය සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර දෙපාර්ශ්වයේම පස්දෙනකු මේ වන විට නාගොඩ, කොළඹ, හොරණ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
ඝාතනයට ලක් වී තිබුණේ තෙඹුවන යටවර ප්‍රදේශයේ පදිංචිව සිටි මංගල ප්‍රේමවර්ධන නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

දෙපාර්ශ්වයේ දරුවන් දෙදනකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඝාතනය සිදු වී ඇති බවත් එය වළක්වා නොගැනීම ගැන දෙපාර්ශ්වයේම මවුපියන් වගකිවයුතු බවත් පොලිසිය පවසයි. අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි විමර්ශන සිදුකරන අතර රෝහල්ගතව සිටින සැකකරුවන් හට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.


(හේමන්ත ලියනපතිරණ සහ බිමල් ජයසිංහ)