ravindu-sahan-funeral

අනපේක්ෂිත හදිසි අනතුරක් නිසා ජීවිතයෙන් සමුගත් රවිඳු සහන් නමැති 25 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු අද (20) සවස කොහුවල නිසල අරණ පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
රවිඳු සහන් මරණයට පත්වන්නේ පසුගිය සිකුරාදා දෙහිවල දුම්රිය ස්ථානය අසල දී දුම්රියේ හැපීමෙනි. පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි අලුත විවාහක තරුණයෙකි. දෙහිවල කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ පදිංචිව සිටියේය. ඔහු සේවය කරමින් සිටියේ විදේශ රැකියා ලබාදෙන පුද්ගලික ආයතනයකය.
ඔහු පසුගිය සිකුරාදා (17) සවස දෙහිවල  දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටී මියගොස් තිබුනේ නොසිතූ ආකාරයටය. ඔහු එදින කිසියම් සාදයක් සඳහා යාමට සූදානම්වී සිටි බවත් ඒ සඳහා ජංගම දුරකථනයේ උබර් ඇප් එක හරහා කුලී රථයක් ඇණවුම් කර එය එන්නේ කොතැනටදැයි සොයමින් කලබලයෙන් සිටි බවත් පැවසේ.
දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය අසල රැඳී සිටිය ඔහු දුම්රිය පීලි අතර පනිමින් ඇවිදිමින් දුරකථනය කනේ තබාගෙන වෙනත් අවධානයක සිට ඇති අතර නොසිතූ පරිදි කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ  දුම්රියක් ඔහු තල්ලුකරගෙන ගියේය. විසිවගිය රවිඳු බරපතල තුවාල ලබා මියගියේය.
 කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ මහතා හමුවේ  හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ අතර දුම්රියේ ගැටී සිදුවූ බරපතල තුවාල නිසා මරණය සිදුව ඇති බව සටහන් කෙරිණි.


කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවකු වූ රවිඳු පාසලේ ජනප්‍රිය චරිතයක් විය. ඔහුගේ අකල් මරණය හේතුවෙන් විවිධ සටහන් සමාජ මාධ්‍ය වෙත ඔහුගේ මිතුරන් එක්කර තිබුණි.

පසුගිය 2022 සැප්තැම්බරයේ විවාහ දිවියට පිවිසි අයෙකු වූ රවිඳු තවමත් විවාහ දිවියේ ගත කර තිබුනේ මාස 5 ක් පමණි. ඔවුන් තවත් සති කිහිපයකින් විදෙස් ගතවීමට සූදානමක් පැවති බවටද ආරංචියක් පැවතිණි. රවිඳු බෙහෙවින් ආදරය කළ අය අතර ඔහුගේ සොයුරියගේ ළාබාල පුතුද සිටී.රවිඳුගේ අහිමිවීම පවුලේ අයට මහත් කම්පනයක් ඇති කර තිබුණි.

රවිඳුගේ පාසලේ මිතුරන්, ඔහු මින් ඉහත සේවය කළ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ් අංශය මෙන්ම වර්තමාන සේවා ස්ථානය වන මෑන් පවර් ආයතනය ඔහු වෙනුවෙන් සුවිශේෂ කනගාටුව ප්‍රකාශ කර තිබුණි.

රවිඳුගේ දේහය නිවසේ තබා තිබුනේ ඔහු නිතරම අඳින්නට පළඳින්නට කැමතිදේවල් සමගය. ඔහුගේ රන් පැහැ ඔරලෝසුව, අව් කන්නාඩි යුවළ මෙන්ම ඝණකමින් යුතු මාලයද එහි විය.

මිතුරන් අතර සැබෑ මිතුරෙකුවී සිටි රවිඳු මෑත කාලිනව ‘ටික්ටොක්‘ නාලිකාවකද පෙනී සිටියේය.

අවාසනාවන්ත අනතුර සිදුවී රවිඳු රෝහල්ගත කළ ආරංචියට රෝහලද විශාල පිරිසකගෙන් පිරී ඉතිරී ගොස් තිබූ අතර රවිඳුගේ අවසන් කටයුතු අද (20 වැනිදා) කොහුවල පොදු සුසාන භූමියේ දී සිදු වූයේද විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
රවිඳු වෙනුවෙන් මුහුණුපොතේ මිතුරන් තැබූ සටහන් කිහිපයක් හා අද (20) අවසන් කටයුතු අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වෙි.






ravindu-sahan-funeral