IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ඩොලර් බිලියන 2.9 ක ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි  අද (20) රාත්‍රී වාර්තා විය. මෙම මුදල් අගය $ බිලියන 7 ක ණයක් දක්වා විස්තීරණය වන්නේ අයිඑම්එෆ් සමග ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් මුදල් නිදහස් කිරීම සමගිනි.මේ සඳහා අද විශේෂ රැස්වීමක්ද පැවැත්විණි. ශ්‍රී ලංකාවට මෙවැනි ණය ආධාරයක් IMF සිදුකරන්නේ 17 වැනි වතාවටයි.

මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් සාක්ෂාත් කර ගැනීමටත් කැපවන බව ජනාධිපතිවරයා කීය.

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා IMF වැඩසටහන ඉතා වැදගත් වන අතර ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ද එය ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා
ආකර්ශනීය රටක් බවට පත් වීමට ඉවහල් වනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.

අද (20) IMF ආධාර අනුමත වීමෙන් පසු හෙට (21)  අඟහරුවාදා ඇමරිකානු ඩොලර් මිලියන 390 කට ආසන්න පළමු වාරිකය ලබා දීමට නියමිත වන අතර ඩොලර් ලැබීම සමග මේ දිනවල උච්චාවචනය වෙමින් පැවති "ඩොලර් අර්බුදය අවසන්" යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබේ.


ණය පැකේජය ආයෝජකයින්ගේ මනෝභාවය වැඩිදියුණු  කරනු ඇතැයිද ඒ අනුව අවශ්‍යතා ඇති අංශවලට සේවය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය එක්රැස්වන බවද මහ බැංකු අදිපති පෙන්වා දී තිබෙයි.

IMF පහසුකම ඩොලර් බිලියන 2.9 ක් ක්‍රියාත්මක වූ පසු, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව අයවැය ආධාර සඳහා පැමිණෙන ඩොලර් බිලියන 4.5 ක ප්‍රතිපත්ති මත පදනම් වූ ණය සියල්ල එකතු කර  ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක උපරිමයක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන බව ජනපති කාර්යාලය නිවේදනය කර ඇත.

 අඟහරුවාදා දින මේ සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්කරන බවද දන්වා ඇත.