polgahawela-incident

ව්‍යාපාරික කාන්තාවක සමග තිබූ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඊට පලිගැනීමක් වශයෙන් එම කාන්තාවගේ  16 හැවිරිදි පුතා පැහැරගෙන ගිය බව කියන පොල්ගහවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ  පවත්වයි. මහනුවර, හන්තාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක මෙම පැහැර ගැනීම ගැන මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

එම කාන්තාව මීට මාස කිහිපයකට පෙරදී රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රෙදිපිළි තොගයක් පොල්ගහවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් මිලදී ගෙන ඒ සඳහා චෙක්පත් දෙකක් ලබාදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම චෙක්පත් දෙක අගරුවීම නිසා පොල්ගහවෙල ව්‍යාපාරිකයා ඊට පලිගැනීමක් වශයෙන් ව්‍යාපාරික කාන්තාවගේ 16 හැවිරිදි දරුවා පැහැරගෙන ගොස් ඇති බවට ඇය පොලිසියට පැමිණිලි කර ඇත.  එම කාන්තාව මෙම පැමිණිල්ල කළ දිනයේම රාත්‍රි 10.30ට පමණ එම පැහැරගෙන ගියේ යැයි කියන 16 හැවිරිදි පුත්‍රයාද සමග මහනුවර පොලිසියට පැමිණ ඇත. දරුවා පැහැර ගෙන ගිය බව කියන පොල්ගහවෙල ව්‍යාපාරිකයා මාවනැල්ල ප්‍රදේශයේදී තම පුතාට මුදල් ලබාදී නිවෙසට යන ලෙස පවසා බස් රථයක නංවා ඇතැයි ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.



පැහැරගෙන ගිය බව කියන දාසය හැවිරිදි දරුවාට සැකකාර  ව්‍යාපාරිකයා කිසිදු ශාරීරික හිංසාවක් හෝ පීඩාවක් කර නොමැති බව පොලිසිය සඳහන් කරයි. දහසය හැවිරිදි දරුවාගෙන් සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේ එම දරුවා මේ බව හෙළි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය