kirulapona-theft-nabbed

සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ කිරුළපන බලපොකුණ පාර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ පනහක මුදලක් සහ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගත් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. ඒ සමග සොරාගත් මුදලින් රුපියල් 7,80,000 හා රුපියල් ලක්ෂ 14 ක් වටිනා රන් භාණ්ඩ තොගයක් සමග සොරකම සඳහා භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථය, පොලිස් භාරයට ගත් බව එම කාර්යාංශය කියයි.



කිරුළපන, බලපොකුණ පාර ප්‍රදේශයේ නිවසකට සුඛෝපභෝගී ජීප් රථයකින් සිව් දෙනකු පැමිණ ඉන් දෙදෙනෙකු ආරක්ෂිත තාප්පයෙන් නිවස පිහිටි වත්තට පැන එම නිවසේ ජනේලයකට සවිකර තිබූ යකඩ ග්‍රීල් එකක් ගලවා ඇතුළු වී එහි අඹුසැමි යුවළ නිදාගෙන සිටි කාමරයේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 50 ක් හා රුපියල් ලක්ෂ 20 පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් ඉකුත් පෙබරවාරි 27දා සොරාගෙන ගොස් තිබුණි. එම අවස්ථාව වන විට නිවැසියන් වන්දනා චාරිකාවක් ගොස් නිවසට පැමිණ විඩාබර තත්ත්වය නිසා නිදාගෙන සිට ඇති බව පොලීසිය කියයි.  පසුදා අවදි වූ නිවැසියන් නිවසේ යකඩ ග්‍රීල් එකක් ගලවා තිබීමත් අල්මාරිය විවෘත කර තිබීමත් පිළිබඳව සැක සිතී  විමසා බැලීමේදී මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ඇති බවට දැනගෙන ඒ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

පසුව කිරුලපන පොලිසිය සැකකරුවන් සොයා විමර්ශනය කරන අතරතුරදී, කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත මාරපන මහතාගේ නියෝගය පරිදි තවත් විමර්ශනයක් සඳහා කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශයටද භාර දී තිබුණි. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථ අංකයක් ඔස්සේ විමර්ශන  සිදුකිරීමේදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මොරටුමුල්ල ප්‍රනාන්දු මාවතේ නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධියට සම්බන්ධ අනිත් පුද්ගලයින් පස්දෙනාද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.



පසුව සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී සොරාගත් රන් භාණ්ඩ තොගයෙන් ලක්ෂ 14 වටිනා රන් භාණ්ඩ තොගයක් ප්‍රධාන සැකකරුගේ නිවෙස ඉදිරිපිට වළලා තිබියදී සොයා  ගත් අතර එම රන් භාණ්ඩ සොරා ගත් බව අනිත් සැකකරුවන්ට නොකියා ප්‍රධාන සැකකරු හොර රහසේ තම නිවෙස ඉදිරිපිට මෙසේ වළලා තිබී ඇති  බව ද පැවසේ. සොරාගත් මුදලින් 7,80,000 ක් හා  සොරකම සඳහා භාවිත කළ  සුඛෝපභෝගී ජීප් රථය ද පොලිස් භාරයට ගෙන තිබුණි. මෙහි ප්‍රධාන සැකකරු මොරටුමුල්ල ප්‍රදේශයේ ස්ථාන තුනක සිදු කළ දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් වසර තුනක් බන්ධනාගාරගතව සිට පැමිණි අයකු බවත් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ කිරුළපන පොලිසියට භාරදී ඇති අතර 14 දා අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
(ශාන්ත ප්‍රදීප් කුලරත්න)