petrolium-job-fake-lady

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියාවක් ලබා දෙන බව පවසමින්, දෙණියාය රෝහල් සේවිකාවකගෙන් රුපියල් ලක්ෂ පහ හමාරක් වංචනික ලෙස අවස්ථා කිහිපයකදී තම බැංකු ගිණුමට බැර කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළකගෙන් සැමියා පැන ගොස්, අඹුව පමණක් පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය පවසයි. පැන ගිය සැමියා ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇති අතර,

මාස නවයකට අධික කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසු අධිකරණ නියෝගයක් මත සැකකාර අඹු සැමි යුවළගේ බැංකු ගිණුම්, දුරකතන වාර්තා විශ්ලේෂණයකින් පසුව, දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් රඹුක්කන ප්‍රදේශයට ගොස් සැකකාරිය මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවාය.

අත්අඩංගුවට ගැනුණ 38 හැවිරිදි සැකකාරිය කැබල්අගුර, දේවාලිවල, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලීසිය පවසයි. අදාළ රෝහල් සේවිකාවගේ පුතු 2021 වර්ෂයේ පොලිස් කොස්තාපල් තනතුරකට අයැදුම්පත් යොමු කර, ඒ සඳහා සහභාගි වීමට ගිය අතරතුර අඹු සැමි යුවළ කුමන හෝ ආකාරයකින් ඔවුන්ගේ ජංගම දුරකතන අංකය සොයා ගෙන, ඔවුන් සමග ඇති කරගත් හිතවත්කමක් මත රෝහල් සේවිකාව රවටා මෙම සැකකාර අඹු සැමි යුවළගේ බැංකු ගිණුමට මුදල් බැර කරගෙන ඇතැයි පොලීසිය සැක කරයි.

ඒ අනුව, 2021 වර්ෂයේ දෙසැම්බර් මස තුළ හා 2022 වර්ෂයේ ජනවාරි මස තුළ අවස්ථා හතරකදී මෙම මුදල් වංචනික ලෙස ගිණුම්ගත කරගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකාර අඹු සැමි යුවළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියාවක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහ හමාරක මුදලක් ලබා දිය යුතු බවත්, එය හැකි ඉක්මනින් ලබාදුනහොත් රැකියාව ඉක්මනින් ලබා ගැනීමට හැකි බව පවසා, මෙම මුදල් ලබා ගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී යැයි පොලීසිය කියයි. රෝහල් සේවිකාව එම මුදල් අවස්ථා කිහිපයකදී බැංකුගත කිරීමෙන් අනතුරුව, 2022 පෙබරවාරි වන විට එම මුදල් ලබා ගෙන ඇත්තේ තමන් රවටා බව දැනගෙන, ඒ සම්බන්ධයෙන් දෙණියාය පොලීසියට සිදු කළ පැමිණිල්ලක් මත සැකකාරිය මාස නවයක  කාලයකින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.
 එස්.ඩී. කොඩිකාර