pallegama-siri-niwasa

හිටපු අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොළහකට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජිප් රථයක,

මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ට හෝ අටමස්ථාන කාරක සභාවට පවරන ලෙසත්, හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසත් අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය ඊයේ (16) නියෝග කළාය. දිසා විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ සුඛෝපභෝගි වාහන හතරක අයිතිය සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවති නඩුවක් සමථයට පත් කර ගැනීමට මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශව ඇති කර ගත් සමථ එකගතාවක් සලකා බලමිනි.



ඒ අනුව, ප්‍රශ්නගත මෙම වාහන හතර අතරින් එන්සී/ සීබීඑල් 5353 අංක දරන ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වී එයිට් වර්ගයේ සුඛෝපභෝගි ජිප් රථය, එන්සී/ පීසී 8445 අංක දරන ටොයෝටා හයිලුක්ස් වර්ගයේ කැබ් රථය සහ එන්සී/කේඩබ්ලිව් 9988 අංක දරන ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන නා හිමියන්ට  හෝ අටමස්ථාන කාරක සභාවට බාරදෙන ලෙසත් එන්සී/සීඒඩබ් 1210 අංක දරන හොන්ඩා වෙසෙල් වරේය් ජීප් රථය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන පී.එම්. චන්දානන්ද යන අයට පවරන ලෙසත් දිසා විනිසුරුවරිය නියෝග කළාය. ඒ අනුව මෙම නඩුව අවසන් කිරීමට ද නියෝග ද  කෙරිණි. අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 3/2 ඒ 260 ලිපිනයේ පී.එම්. චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි, අනුරාධපුර ශ්‍රී මහා බෝධි බෝමළුව විහාරවාසී කැකිරාවේ ඤාණසිරි හිමි, අනුරාධපුර ථූපරාමාධිකාරි කහල්ලේ ඥානින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාව නම් කරනු ලැබ සිටියහ.

පෙත්සම්කාර පී.එම්. චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරමින් පවසා ඇත්තේ අනුරාධපුර නගරයේ කීර්තිමත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තමා අටමස්ථානාධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස නාහිමියන් සමඟ වසර 19 ක කාලයක් කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගිය බවයි. සිරිනිවාස නාහිමියන් අසනීප තත්වයෙන් සිටි සෑම අවස්ථාවකදීම අවශ්‍ය කටයුතු සපයා දෙමින් තම පියකු මෙන් රැක බලා ගත්තේ තමන් බවද සිරිනිවාස නාහිමියන් අපවත් වන අවස්ථාවේදී ඇප උපස්ථාන සඳහා කැපවී සිටි පුද්ගලයා තමන් බවද ඔහු තම පෙත්සමේ සඳහන් කර ඇත. සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටි කාලයේ උන්වහන්සේ විසින් උපයා සපයා ගන්නා ලද සාංඝික  නොවන, තම පුද්ගලික ධනයෙන් දේපළ කිහිපයක් මිළදී ගත් බවත්,

එම දේපළවල නිර්වද්‍යතාව සොයා බැලුවේ තමන් බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී සිය පුද්ගලික මුදලින් පෞද්ගලික පරිහරණය සඳහා මිළදී ගත් වාහනවල ආරක්ෂාව සහ සුරැකිව නඩත්තු කිරීමේ කටයුතු වල වගකීම තමා වෙත පවරමින්, එම වාහන තමා පදිංචි නිවසේ ගරාජය තුළ රදවා තැබූ බව ද පෙත්සම්කරු සඳහන් කර ඇත. සිරිනිවාස නාහිමියන්ට ගමන් බිමන් යාම සඳහා අවශ්‍ය වූ විට තම නිවසේ සිට වාහන බෝමළුව පන්සල වෙත ගෙන්වා ගන්නා බවත්, ගමන් බිමන් නිම කර බෝමළුව පන්සලට පැමිණි වහාම එම වාහන නැවත තම භාරයට තැබීම සිරිනිවාස නාහිමියන්ගේ පුරුද්දක් සහ කැමැත්තක් වී තිබූ බවත් ඔහු සඳහන් කර ඇත. සිරිනිවාස නාහිමියන් දැඩි ලෙස රෝගී වී වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත් එහිදී වාහන කිහිපයක අයිතිය තමාට පැවරීමේ ලේඛන ලබා දුන් බවත් පෙත්සම්කරු අධිකරණයට ප්‍රකාශ කර ඇත.

අනතුරුව අදාළ පැවරීමේ ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර පවරා ගැනීමේ කටයුතු සිදු කර ගැනීම සඳහා බාර දුන් බවත්, ස්වකීය පෙත්සම මගින් ප්‍රකාශ කොට ඇති පෙත්සම්කරු 2022 ඔක්තෝබර් 18 වන දින අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියන් අපවත් වු බවද කියා තිබේ.  තමාට පවරා දුන් වාහනවල ලියාපදිංචි අයිතිය පවරා ගැනීමට යාමේදී මෙම නඩුවේ වගඋත්තරකාර හිමිවරුන් විසින් එකී වාහනවල අයිතිය බැහැර  නොකරන ලෙසට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත දන්වමින් අදාළ වාහන පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ පෞද්ගලික දේපළක් නොවන බවත් එම වාහන අටමස්ථානයට අයත් දේපළක් බවටත් කරුණු සපයා බාධා පමුණුවා ඇති බවද පෙත්සම්කරු සඳහන් කර ඇත. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඉඳුල හේවගේ මහතා පෙනී සිටි අතර වත්මන් අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥ තිනෙත් කොරසගල්ල මහතා පෙනී සිටියේය.
  උපාලි ආනන්ද