kebathigollawa-incident

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන 50හැවිරිදි විවාහක කළමනාකරණ නිලධාරිනියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා එම ඇසුරු පැවති කාලයෙහි ඇයගෙන් වරින් වර රුපියල් විසි පන්ලක්ෂ විසි හතර දහසක මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් වාර්තාවේ.

මේ පිළිබද විධිමත් පරීක්ෂණයක් සිදු කර එම විමර්ශනයන්හි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංවන දසනායක මහතා පදවි ශ්‍රී පුර පොලීසියට ඊයේ (16දා) නියෝග කළේය.  පදවි ශ්‍රීපුර පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ සැරයන් ධම්මික මහතා බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙසේ නියෝග කරන ලදී.



අදාළ කළමනාකාරිතිය එම මුදල් තමන්ට ආපසු ලබා දෙන්නැයි සැකකරුගෙන් ඉල්ලා සිටින අවස්ථාවන්වල ඇගේ නිරුවත් ඡායාරූප සමාප් මාධ්‍යයට සහ විදේශගතව සිටින ඇගේ සැමියාට මුදාහරින බවට පෙම්වතෙකු විසින් තර්ජනය කරමින් සිටින බවට පදවි ශ්‍රීපුර පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ සැරයත් ධම්මික මහතා බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් කළේය. ප්‍රදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන 50 හැවිරිදි කළමනාකරණ නිලධාරිනියක් නාරම්මල ප්‍රදේශයේ 27 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු සමග වසර ගණනාවක් අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවද හෙතෙම පැවසීය.

ප්‍රේම සබදතාව පවතින අතරතුර ඇගේ 27 හැවිරිදි පෙම්වතා විවිධ අවශ්‍යතා කියමින් පැමිණිලකාර කළමනාකාර නිලධාරීනියගෙන්  වරින්වර ලක්ෂ ගනණින් මුදල් වංචනික ලෙස ලබගෙන ඇති බවද සැරයන්වරයා අධිකරණයට කරුණු දැක්වීය.  එලෙස වරින් වර සැකකාර පෙම්වතා වංචනික ලෙස කළමනාකරණ නිලධාරීනියගෙන් ලබා ගෙන ඇති මුළු මුදල රුපියල් විසිපන් ලක්ෂ විසිහතර දහසක් බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණවූ බවද අධිකරණයට සැළ කළ පොලිස් සැරයන්වරයා ඇතැම් අවස්ථාවල පැමිණිලිකාර කළමනාකරණ නිලධාරීනිය සැකකාර සිය අනියම් පෙම්වතාට මුදල් ලබා දී ඇත්තේ ඇය සතුව තිබූ යතුරුපැදිය සහ රන් භාණ්ඩද උගසට තබමින් බව ද සදහන් කළේය.



පැමිණිලිකාරිය එලෙස සිය අනියම් පෙම්වතාට පෙර ලබා දී තිබූ මුදල් ආපසු තමාට ලබා දෙන ලෙස ඉල්ලා සිටින අවස්ථාවල පැමිණිලිකාර කළමනාකරණ නිලධාරීනියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට සහ විදේශගතව සිටින ඇගේ සැමියාට මුදාහරින බවට සැකකාර අනියම් පෙම්වතා ඇයට තර්ජනය කරමින් සිටින බවද විමර්ශනවලදී හෙළි වියිද අවධාරණය කළ සැරයන් ධම්මික මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දැනටමත් අරඹා ඇති බවද අධිකරණයට දැන්වීය. ඉදිරිපත් වූ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් වන දසනායක මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධමිත් විමර්ශනයක් සිදු කරන එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පදවි ශ්‍රීපුර පොලීසියට නියෝග කළේය. පදවි ශ්‍රීපුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක මහතාගේ උපදෙස් මත සැරයන් ධම්මික මහතා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේය.
උපාලි ආනන්ද