moratuwa-incident

මොරටුව මොරටුවැල්ල ප්‍රදේශයේදී  ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකුගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කරන අයෙකි.‍ෙ
පෙරේදා (21 වැනිදා) රාත්‍රි 7.30 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි පුද්ගලයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර පසුව කළුබෝවිල රෝහට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියි.



විමර්ශන වලින් හෙළිවී ඇති අන්දමට මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සහ තුවාලකරු අතර මීට දින කීපයකට උඩදී ආරවුලක් ඇතිවී තිබිණි.
එහිදී මෙම තුවාලකරු මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුට පොල්ලකින් පහරදී ඇත.

එම සිද්ධියට එකට එක කිරීමක් ලෙස පෙරේදා රාත්‍රි තියුණු ආයුධයක් රැගෙන පැමිණි එම පුද්ගලයා තමාට පහර දුන් 40 හැවිරිදි පුද්ගලයාගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන පලා ගොස් තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු මෙම කපා දැමූ දෑත් කොටස් දෙක රැගෙන යන්නට ඇත්තේ එය රෝහලට රැගෙන ගොස් නැවත බද්ධ කිරීම වළක්වා ලීමට බවයි.

ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කළ විමර්ශන මගින් අපරාධය සිදුකළ සැකකරු හඳුනාගත් අතර ඔහු කැපුම් කෙටුම් නඩු රැසකටම සම්බන්ධ පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇත.

තුවාලකරුගේ බිරිඳත්, කැපුම් තුවාල සිදුකළ සැකකරු අතරත් අනියම් සබඳතාවක් තිබී ඇති බවත් ඒ හේතුවෙන් මොවුන් දෙදෙනා අතර කලක පටන් විරසකයක් තිබී ඇති බවත් මූලික විමර්ශන මගින් හෙළිවී ඇත.
සැකකරු සහ කුවාලකරුගේ බිරිඳ පෙරේදා රාත්‍රියේ සිට නිවෙස් අතහැර ගොස් ඇත.