kandy-alawathugoda-woman-death

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ කාන්තාවකගේ මළසිරුරක් අද (11) පෙරවරුවේ සොයාගෙන තිබුණි.
මෙලෙස මියගොස් තිබුණේ 26 හැවිරිදි වියේ පසුවූ විවාහක කාන්තාවකි. ඇයගේ සැමියා සමග ඇය ජීවත්වූ නිවසට ආසන්න වෙල්යායක තිබී ඇයගේ සිරුර හමුවූයේ උදෑසනයි.
ඇයත් සැමියාත් සුළු පරිමාණයේ සිල්ලර කඩයක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඊයේ රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළඳසැළ වසා දමා අවමගුල් උත්සවයකට සහභාගී වන බව පවසා පිටව ගොස් නැවත ඔහු අලුයම 2 ට පමණ නිවසට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ නිවසේ ඇය නොසිටි බව කියමින් සැමියා පොලිසියට පැමිණිලි කර තිබෙන බව කියැවිණි.


එම නිවසට තරමක් දුරින් පිහිටි කාන්තාවගේ මහගෙදර අයටද සැමියා මේ බව දන්වා ඇති අතර ඔවුන් පසුදින උදෑසන අවට සොයා බලද්දී වෙල්යායක මඩ වගුරක ඔබා තිබියදී මියගිය තරුණිය හමුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ මව,
"දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා.  මං හිතුවේ ඉන්නවා කියලා. අනේ එයාව මරල මඩ වගුරක දාලා."



මෙලෙස මියගිය තරුණිය 26 හැවිරිදි දනූකා මධුවන්ති නමැත්තියකි. ඇය විවාහවී වසර 5 ක් පමණ වන අතර දරුවන් සිටියේ නැත. ඇය පස්දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා බව කියැවිණි.පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී මේ සැමියා හා ඇය අතර අඩදබර සිදුවූ බව අනාවරණයවී ඇත.
සැමියා ඇය අතුරුදන් බව කියූ අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.
මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් වලට බෙහෙවින් හේතුවී ඇත්තේ සැමියාගේ බීමත් කම බව පොලීසිය ප්‍රකාශ කරයි.
‘මේ මගේ ලොකුම දුව..කිසි කරදරයක් කරන් නැහැ මට ළමයි 5 දෙනෙක් ඉන්නවා. මටවත් තාත්තටවත් කවදාවත් කරදර නැතිව පාඩුවෙ හිටියේ. ඉස්කෝලෙ ගියාට පස්සේ ජොබ් එකක් කළා. පස්සේ බැන්දට පස්සෙ කොහාටවත් යනවට සැමියා කැමති වුනේ නැහැ. ඒ නිසා කඩයක් කරගෙන හිටියේ. බැඳලා අවුරුදු පහක් විතර වෙනවා.‘ මියගිය කාන්තාවගේ මව පැවසුවාය.
මෙය ඝාතනයක් බවට සැක මතුවන බැවින් සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන අතර සිද්ධිය වූ දිනයේ සැමියා සමග නිවසට පැමිණි යුද හමුදා සෙබළෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.
බොහෝ විට මෙය සැමියා අතින් බිරිය ඝාතනය වීමක් යයි පෙන්නුම් කරන බව නිරීක්ෂණය වී තිබේ.
මරණය පිලිබඳ පශ්චාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.



kandy-alawathugoda-woman-death