Dolawatta-and-Semasinghe-election-court-orders-have-been-undermined-BASL

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.



පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරමින් නීතීඥ සංගමය මෙම ඉල්ලීම කළේය.



මෙම ප්‍රකාශ දෙකම අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමක් වන අතර ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කරන බව නීතීඥ සංගමයෙහි අදහසයි.

2023 මාර්තු 7 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු නියෝග පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කරන බවට සහ විනිසුරු මඩුල්ලේ එක් සාමාජිකයෙකුට අපහාස කරන බවට චෝදනා කරමින් මූලික අයදුම්පත්‍රයකින් එය විවේචනය කර තිබේ.

2023 මාර්තු 10 වැනි දින රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව අවසන් වනතුරු පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු නියෝගය ඉදිරියට ගෙන නොයන ලෙසට අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙසයි.



අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියේ ආධිපත්‍යයට සහ රටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතළ අපහාසයක් බව නීතීඥ සංගමය (BASL) නිරීක්ෂණය කරන බව දන්වා ඇත.

අධිකරණයේ ස්වාධීනත්වයට කරන මෙවැනි අපහාසයන් පාර්ශවයන් කුමක් වුවත් නීතියට අනුව යුක්තිය ඉටු කිරීමට අධිකරණයට ඇති හැකියාව අඩාල කරනු ඇත.

පසුගිය කාලය තුළ විධායක අංශයෙන් හෝ වෙනත් අංශවලින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකම නීතීඥ සංගමය  සහ දිවයින පුරා සිටින එහි සාමාජිකයන් එවැනි ඇඟිලි ගැසීම්වලට දැඩි ලෙස විරුද්ධ වූ බව නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.



ඒ අනුව ඉතිහාසයේ පාඩම් ඉගෙන ගෙන ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කිරීමෙන් වළකින ලෙස නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.