harak-kata-kudu-salindu

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ට බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” සහ සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් “පානදුරේ කුඩු සලිඳු” යන අයවලුන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ඊයේ (22) නියෝග කළේය.



තම සේවාදායකයන් දෙදෙනාගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ ජාලිය සමරසිංහ යන මහත්වරුන් මෝසමක් මගින් අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.  මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තුසිත කහගල්ල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.



අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා” යන අය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ද සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් “පානදුරේ කුඩු සලිඳු" යන අය වෙනුවෙන් නීතිඥ ජාලිය සමරසිංහ මහතා ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ. තම සේවාදායකයන් දෙදෙනා විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ සඳහා එක වගකිව යුතු නිලධාරියකුගේ අනුදැනුම මත පමණක් රැගෙන යාමට කටයුතු කරන ලෙසත් එහිදී තම  සේවාදායකයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකීම පිළිබඳව එම නිලධාරියා බැඳී සිටින යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලූහ.

මෙවන් ආකාරයට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බොහෝ සැකකරුවන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් පූර්වාදර්ශ ඇති බැවින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන බවද නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

  සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, නීතිඥ උදාර  මුහන්දිරම්ගේ, නීතිඥ තිළිණ  පුංචිහේවා, නීතිඥ සංජය  ආරියදාස සහ නීතිඥ ජාලිය සමරසිංහ යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නිමන්ති රණසිංහ