donkey-face-police

මින් ඉහත පසුගිය 24 වනදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට පත්ව ගුවන්තොටුපොල පොලිස් ස්ථානයේ රදවා සිටියදී පළාගිය රවීන්ද්‍ර රංගන හෙවත් රවිඳු සංඛ හෙවත් 'බූරු මූණා' නැමැති පාතාලයේ අභිරහස් වෙඩික්කරු අද පොලිස් අත්අඩංගුවට පත් විය.

වාර්තා වන ආකාරයට ඔහු අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.


මිනිස් ඝාතන 09කට පමණ පොලීසියට අවශ්‍යව සිටින සැකකරුවෙකු වූ බූරු මූණා පසුගිය පෙබරවාරි 24 වෙනිදා සවස අත්අඩංගුවට පත්ව තිබුනේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් සකස්කල විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේදීය.ගුවන්ගමන් තහනමකට අනුව ආගමන විගමන නිලධාරීන් විසින් අල්ලා භාරදුන් බූරු මූණාව අත්අඩංගුවටගත් ගුවන්තොටුපොල පොලීසිය ඔහුව සිරමැදිරිය තුළ රදවා නොතබා නිදැල්ලේ රැදෙන්නට ඉඩදී තිබු අතර එයින් ප්‍රයෝජනයගත් ඔහු පළායන්නේ පොලිස් ස්ථානය අසලට පැමිණි මෝටර් රථයක නැගීය.

සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළා ගිය බව කියැවිණි.

පසුගිය වසරේ  දෙසැම්බර් 18 වනදා හංවැල්ල ප්‍රදේශයේදී අවන්හල් හිමිකාර පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු මින් ඉහත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙහි විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.
අත්අඩංගුවට පත් බූරු මූණා විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබේ.