Kasippu-flour-mill-under-the-guise-of-a-temple-caught

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන්, කසිප්පු පෙරුම්පොළක් පවත්වාගෙන ගිය කපු මහතකු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෝමාගම පිටිපන දක්ෂිණාරාම පාරේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. කසිප්පු පෙරුම්පොළක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම නිවෙස වටලා පරීක්ෂා කිරීමේදී, නිවෙසේ මුළුතැන්ගෙයි විශේෂිතව සැකසූ ස්ථානයක තබා කසිප්පු පෙරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකි විය.



පසුව, මුළුතැන්ගෙයි පෝරණුවක් මත ප්ලාස්ටික් බූලි තුළ බහා තිබී කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 135,000ක් ද, නිවෙස පිටුපස මඤ්ඤොක්කා සහ කහ වගාවක් මැද ඉතා සූක්ෂමව පොළොව යට වළලා තිබූ ගෝඩා මිලි ලීටර් 11,35,000ක් අඩංගු බැරල් 6ක් ද, ගෑස් ළිපක්, සිලින්ඩරයක්, දඟර ඇතුළු උපකරණ තොගයක් ද භාරයට ගත් බව පොලීසිය කියයි. නීති විරෝධී මත්පැන් ඉස්කාගාරය පවත්වාගෙන ගිය නිවෙස ඉදිරිපිට සැකකරු දේවාලයක් පවත්වාගෙන යන අතර, එහි භාරකරු ලෙස ද මොහු කටයුතු කරන බව පැවැසේ.



වැටලීම සිදු වන අවස්ථාවේදී සැකකරු එක්වරම දේවාලය තුළට ගොස් කිසිවක් නොදන්නා සේ ඔහුගේ පුතා සමග ශාන්තිකර්මයක් ආරම්භ කිරීමට  සූදානම් වූ බවත්, එම අවස්ථාවේදී සැකකරුට කරුණු පහදා දී මෙසේ අත්අඩංගුවට ගත් බවත් පොලීසිය  පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 170,000ක දඩයක් නියම කළ බව පොලීසිය කියයි.


  ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න