galle-face-drug-money

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයා ගත් බවට සැලකෙන රුපියල් හැටනව ලක්ෂ හතළිස් තුන්දහස් පන්සියයක (69,43,500) මුදලක් කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන තරුණයකු කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේදී පෙරේදා (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි කොටුව පොලිසිය කියයි. ඔහු රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ලබාදී ගැලවී යාමට උත්සාහ කර ඇතත්, පොලිස් කණ්ඩායම එය ප්‍රතික්ෂේප කර, එම තරුණයා අත්අඩංගුවට ගත් බවද කොටුව පොලිසිය පවසයි. ඔහු සතුව තිබී සොයාගත් මුදල්ද පොලිස් බාරයට ඇත.

සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර උතුර සහ අහංගම යන ප්‍රදේශවල වරින් වර පදිංචිව සිටින තරුණයෙකි.

ඔහු පාතාල කල්ලියක් සමඟ සම්බන්ධකම් පවත්වන අයකු බවට තොරතරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. කොල්ලුපිටිය දෙස සිට කොළඹ කොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ගැන මතුවූ සැකයක් මත ගෝල්පේස් ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි මෙම පොලිස් කණ්ඩායම එම රථය නතර කරගෙන ඇත.  මුදල් මිටි තොගයක් ලොරි රථයේ තිබෙන බව දුටු පොලිස් කණ්ඩායම ඒ සම්බන්ධයෙන් ලොරි රථය පදවාගෙන ආ තරුණයාගෙන් ප්‍රශ්න කර තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තැතිගත් බවක් පෙන්වූ බව කියන මොහු මුදල් සම්බන්ධයෙන් පරස්පර කතා කියන්නට වූයෙන් පොලිසියට ඇතිව තිබූ සැකය මත ලොරි රථය පරීක්‍ෂා කර බලා වෙනත් කිසිවක් හමු නොවූයෙන් ලොරි රථය වැඩිදුර පරික්ෂාවකට ලක් කිරීම සඳහා පොලිස් නිල සුනඛ සහාය ලබා ගැනීමට තීරණය කර ඇත. පොලිස් කණ්ඩායම මේ බව කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාට දැනුම්දීමෙන් පසු කොළඹ වරාය පොලිසියට අනුයුක්තව මත්ද්‍රව්‍ය සෙවීමේ රාජකාරියේ යොදවා සිටින පොලිස් නිල සුනඛ ''ලිලෝ'' එහි ගෙන්වා ගෙන තිබේ.

පොලිස් නිල සුනඛයා ලොරි රථයේ රියැදුරු අසුනට ඉවකර දුන් හෝඩුවාව අනුව එම අසුන පරීක්‍ෂා කර බැලීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 3,400ක් ග්‍රොසරි බෑගයක දමා සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (19) පැවසීය.  මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්තව පිහිටුවා ඇති බස්නාහිර පළාත් නිල සුනඛ ඒකකයේ අධීක්ෂණ නිලධාරි උප පොලිස් පරීක්ෂක ඒ.ඒ.එස්. පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ පොලිස් සැරයන් කේ. ඩී. ආර්.එස්. කුමාර මහතා (17430) විසිනි.



පෑලියගොඩ පාලම මතදී හමුවූ පුද්ගලයකු මුදල් තොගය සහ හෙරොයින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී  ලොරි රථය ළඟට පැමිණෙන පුද්ගලයකු බාරදෙන ලෙස තමාට දැනුම් දුන් බව අත්අඩංගුවට ගත් විසි හැවිරිදි සැකකාර තරුණයා පොලිසියට පවසා ඇතැයි කියති. මුදල් තොගය භාරදුන් පුද්ගලයා ගැන  හෝ ඒවා භාර ගැනීමට පැමිණීමට නියමිතව සිටි පුද්ගලයා ගැන කිසිවක් කීමට තමා නොදන්නා බව සැකකරු පවසන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.  සැකකරු පවසන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකාර තරුණයා පොලිසියට සත්‍ය වසන් කරන බව පෙනී යන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මොහු කිසිවකුගේ වුවමනාව මත හෙරොයින් ජාවාරමේ නිරතව සිටින පාතාල කල්ලියකට සම්බන්ධ අයකු බවටද තොරතුරු ලැබී ඇති නිසා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන කොටුව පොලිසිය වැඩිදුර  පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය