Sujith-Varghese

එක්සත් අරාබි එමීරයේ ඩුබායි නගරයේ පදිංචිව සිටින සුජිත් වර්ගීස් නමැති තරුණයෙකු රෝද පුටුවක සිට යාම්-ඊම් කරමින් ඇඳි ලොව විශාලතම GPS සිතුවම නිර්මාණය කිරීමේ ගිනස් ලෝක වාර්තාව තැබීමට සමත්ව ඇතැයි වාර්තාවෙයි. ගිනස් ලෝක වාර්තා කමිටුව මගින් පසුගියදා මෙය නිල වශයෙන් ස්ථිර කර එම වාර්තාවට අදාළ සහතිකය ඔහු වෙත පිරිනමා තිබේ.  සුජිත් යනු ඉන්දියාවේ දකුණුදිග  කේරළේ උපත් අයෙකි. පාපැදි ධාවනයේ නිරත මලල ක්‍රීඩකයෙකු වන ඔහු දැන් ජීවත් වන්නේ ඩුබායි නුවරයි. 2013 වසරේදී පාපැදි තරගයක් අතරතුර ඇතිවූ හදිසි අනතුරක් හේතුවෙන් ඔහුගේ දෙපාවල ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබේ. එතැන් සිට ඔහුට රෝද පුටුවකට සීමාවන්නට සිදුවිය.

ඒ අනුව, අද දවසේ තමන්ගේ ළඟම මිතුරා වන මෙම රෝද පුටුවත් සමග ඔහු පසුගියදා ඩුබායි නුවර බර්ජ් කලීෆා කුලුන සහ ඩුබායි මෝල් සාප්පු සංකීර්ණය අවට ප්‍රදේශයේ සැරිසරමින් මෙම  දැවැන්ත සිතුවම නිර්මාණය කර තිබේ. එහිදී ඔහු අතින් නිර්මාණය වී ඇත්තේත්ද දැවැන්ත රෝද පුටුවක ලකුණක් වීමත් විශේෂත්වයකි. ගිනස් ලෝක වාර්තා කමිටුව සඳහන් කරන ආකාරයට මෙම සිතුවම කිලෝමීටර් 8.71ක දුරකින් යුක්තය. ඒ අනුව, මෙය තනි පුද්ගලයෙකු විසින් සිදුකළ දැවැන්තම GPS සිතුවම ලෙස වාර්තා අතරට එක්ව තිබේ. මේ සඳහා සුජිත් වෙත පැය 24ක කාලයක් ගත වී ඇත. “2013 වසරේදී  යතුරුපැදි අනතුරක් නිසා ඉනෙන් පහළ  කොටස අප්‍රාණික තත්ත්වයට පත්වූ සුජිත්, සියලු දෙනා වෙතම ධෛර්යයක් එක්කිරීමේ අරමුණින් මෙම නව ලෝක වාර්තාව තැබීමට උත්සාහ ගෙන තිබේ.”  යනුවෙන් ගිනස් ලෝක වාර්තා කමිටුව මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර තිබේ.



සුජිත්ගේ මෙම නව ලෝක වාර්තාවට හිමි වීඩියෝව ගිනස් ලෝක වාර්තා කමිටුවේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළවී පැය 16ක් ඇතුළතදී ලක්ෂ පහකට අධික පිරිසක් එය නරඹා තිබූ අතර, Like සටහන් 50,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.  ඔහුගේ මෙම උත්සාහය සදහා ඩුබායි නගරයේ පොලිස් ප්‍රධානියා ඇතුළු පිරිසද උපරිම සහයෝගය ලබාදී ඇත. එහිදී ගිලන් රථ, ඩ්‍රෝන යානා මෙන්ම ආරක්ෂක සහ මාර්ග ආරක්ෂක පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස ඊට දායකත්වය ලබාදී තිබේ. මේ අතර, ඩුබායි නගරය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත දක්වන දායකත්වය සහ පහසුකම් පිළිබඳව ලෝකය වෙත විදහා දැක්වීමේ අවස්ථාවක් ලෙසද ඩුබායි නගරය තුළ මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.

කුඩා කාලයේ සිටම සිතුවම් කලාවට ආදරය කළ සුජිත්, රෝද පුටුවට සීමාවූ පසුගිය වසර 10ක කාලය තුළ මෙලෙස GPS සිතුවම් නිර්මාණයට යොමු වී තිබේ. ඒ අනුව, මෙම ලෝක වාර්තාව සඳහා ඔහු රෝද පුටුවක සලකුණ තෝරාගෙන ඇත. ස්ථානය සොයා ගැනීමේ හෙවත් GPS (Global Positioning System) උපාංගයක් සහිතව, යම් සිතියමක් මත අප තීරණය කරන රටාවකට අනුව ගමන් කිරීමෙන් මෙවැනි GPS සිතුවම් නිර්මාණය කෙරේ. තමන් අතින් පිහිටවුණු මෙම නවතම ගිනස් ලෝක වාර්තාව පිළිබඳව අදහස් දක්වා ඇති සුජිත්, ”කිසිදු භාෂාමය බාධාවකින් තොරව සෑම දෙනාටම තේරුම් ගත හැකි සිතුවමක් ලෝකයේ විශාලතම GPS සිතුවම ලෙස නිර්මාණය කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා.” යනුවෙන් පවසා තිබේ. එසේම, තමන්ගේ මෙම වාර්තාව ලොව ජනතාවට අභියෝග ජය ගනිමින් තමන්ගේ සිහින සාර්ථක කරගැනීමට ආදර්ශයක් වනු ඇතැයිද සඳහන් කර තිබේ.