piliyandala-incident

අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ඒ.ටී.එම්. කාඩ්පතින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත් මෙහෙකාරිය ඇතුළු නිදෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර මෙහෙකාරියගේ දියණිය සහ බෑනා ද වන බව පොලිසිය කියයි. තමන් අසනීපව රෝහල්ගතව සිටින අවස්ථාවේදී ඇති වූ මුදල් අවශ්‍යතාවකට වසර 11ක කාලයක් තම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාවට තමන්ගේ එම කාඩ් පත සහ එහි රහස් අංකය ලබාදී තම අසනීපයට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මුදල් වියදම් කරන ලෙස  දැනුම් දුන් බවත් එම මෙහෙකාරිය විසින් තමන්ට හොර රහසේ රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින්වර ලබාගෙන ඇති බව සුව වී නිවසට පැමිණි පසු තමන්ට දැනගන්නට ලැබුණු බව විශ්‍රාමික බැංකු  නිලධාරියෙන් පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.



තමන්ගේ බැංකු පොතේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් තිබුණු බවත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදී ඉතිරි මුදල් බැංකු ගත කර තිබූ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අදාළ පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්වීමේ දී සැකකාරිය මාස හයක පමණ කාලයක සිට බැංකු නිලධාරියාගේ ඒ.ටී.එම්. කාඩ්පතින් මුදල් ලබාගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙහෙකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඒ.ටී.එම්. කාඩ් පත තම දියණිය සහ බෑනා අතට ද පත් කළ බවත් ඔවුන් රන් ආභරණ මිලදී ගැනීම මෙන්ම නිවසක් කුලියට ගැනීමට එමගින් ලබාගත් මුදල් යෙදවූ බවත් තම මවගේ නිවස අලුත්වැඩියා කිරීමට එකී මුදල් යොදා ගත් බවත් ඊට අමතරව විනෝද සවාරි යාමට මෙන්ම ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ද මුදල් යෙදවු බවත් ප්‍රකාශ කළ බව සැකකාරියන් සහ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මොරටුව, එගොඩඋයන, මෝදර, පදිංචිකරුවන්ය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ