It-is-concluded-in-India-that-Angoda-Lokkas-death-was-not-a-murder-but-a-heart-attack

ශ්‍රී ලංකාවේ පාතාල නායකයෙකුව සිටි අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමේ වාර්තාව CB-CID වෙත භාරදීමට නියමිත බව ඉන්දියාවේ පළවන 'ද හින්දු' පුවත් වාර්තාවකින් දන්වා ඇත.

2020 වසරේදී කොයිම්බතූර්හිදී මියගිය මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් එරට අපරාධ අංශය (CB-CID) කළ විමර්ශනය අවසන් වී ඇති බව එම වාර්තාවේ දැක්වේ. එයට අනුව නිල ආරංචි මාර්ග පැවසුවේ, අංගොඩ ලොක්කා හෘදයාබාධයකින් මිය ගිය බව පවසමින් CB-CID අධිකරණයට නිගමන වාර්තාවක් ඉදිරිපත් කිරීමට යන බවත් නඩුව අවසන් කර වසා දැමීමේ අදියරේ පසුවන බවත්ය.
එරට විමර්ශන අංශ සොයාගැනීම්වලට අනුව, ප්‍රදීප් සිං ලෙස පෙනී සිටි අංගොඩ ලොක්කා කොයිම්බතූර් හි චෙරන් මා නගර් අසල බාලාජි නගර් හි කුලී නිවසක ජීවත් වූ අතර ඔහු 2020 ජූලි 3 වන දින රාත්‍රියේ හෘදයාබාධයකින් මිය ගියේය.

කෙසේ වෙතත්, අංගොඩ ලොක්කා සමඟ ජීවත් වූ සහ ඔහු මිය යන විට එහි සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු අට දෙනෙකුට එරෙහිව දෙවන නඩුවක් තවම ක්‍රියාත්මකය.
 ව්‍යාජ ලියකියවිලි සැපයීම, වැරදිකරුවෙකුට රැකවරණය සැලසීම, සාපරාධී කුමන්ත්‍රණයක් සහ ව්‍යාජ වාර්තා සැකසීම ඇතුළු විවිධ චෝදනාවලට ඔවුන් මුහුණ දී තිබේ.

පරීක්ෂකයන්ට අනුව ලොක්කා කොයිම්බතූර් හි වසර දෙකක පමණ කාලයක් ප්‍රදීප් සිං ලෙස ජීවත් විය.

ප්‍රදීප් සිංගේ නමට  ඉන්දියාවේ අනන්‍යතාව දැක්වෙන ආධාර් කාඩ්පතක් ලබා ගැනීමට ඔහුට උපකාර කළ බව කියන මදුරෙයි හි අධිනීතිඥ  වරියකවන  ඩී. සිවකාමසුන්දරි සහ ඇගේ මිතුරෙකු වූ ඊරෝඩ් හි එස්. ධ්‍යානේෂ්වරන් යන අය චෝදනා ලබා ඇත.

අංගොඩ ලොක්කා මියගියේ ඔහුට පෙම්වතිය ලෙස පෙනී සිටි තැනැත්තිය වස පෙවීමෙන් බවටත් ඇය ඒ ගැන කියමින් නිකුත් කළ වීඩියෝවක්ද සමගින් ආන්දෝලනයක් ඇති කර තිබුනි. කෙසේ වෙතත් මෙම සාක්ෂි නීතිමය වශයෙන් සනාථ කරන්නට අපොහොසත්ව ඇති අතර අවසානයේ අංගොඩ ලොක්කාගේ මරණය ස්වාභාවික හෘදයාබා​ධයක් ලෙස වර්ගීකරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ පාතාලය ඩුබායි සිට මෙහෙයවූ ප්‍රධාන පාතාල නායකයෙකුවූ අංගොඩ ලොක්කා මාකඳුරේ මදුෂ් ඩුබායි සාදයකදී කොටුවූ අවස්ථාවේ එරටින් පළායන්නට සමත්වූ අතර පසුව ඉන්දියාවේ සැඟව සිටියදී මෙලෙස මරණයට පත්විය.

ප්‍රදීප් සිං නමින් 2017දී ඉන්දියාවට සංක්‍රමණය වූ අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරා එහිදී ප්ලාස්ටික් සැත්කමක් මගින් මුහුණේ පෙනුම වෙනස් කරගෙන 2018 දී කොයිම්බතූර් හි පදිංචිවී සිටි බව කියැවිණි. ඔහුට ඉන්ටර්පෝල් රතු වරෙන්තු නිකුත් කරගෙන තිබුණද වෙනස් පෙනුම හා වෙනස් නම නිසා ඔහු මියයනතුරුම හසුවූයේ නැත.

මියයනතුරුම පාතාල කටයුතුවල නිරතවූ ප්‍රදිප් සිං ඉන්දියාවට පෙනෙන්නට කළ රැකියාව වූයේ ව්‍යායාම් ශාලාවලට ප්‍රෝටීන් සැපයුම්කිරීමය.
 ජූලි 3 වන දින කොයිම්බතූර්හිදී අංගොඩ ලොක්කා මියගියේය. සිහිසුන්ව සිටි ඔහු පැය කිහිපයක් ඇතුළත මිය ගිය බව රෝහල වාර්තා කර තිබේ.ප්‍රදීප් සිං නමින් ඔහු රෝහලට ඇතුළත් කර තිබේ. මෘත ශරීරය පසුදා උදෑසන මදුරෙයි වෙත ගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු විසිනි.
ඒ දිනවල ලංකාවට එවූ පණිවිඩයකින් අංගොඩ ලොක්කාට වසදී මරාදමන්නට ඔහු ළඟ සිටි පෙම්වතිය මුල්වූ බව කියැවිණි. ලොක්කා සමඟ ඇති වූ ගැටුමකින් මියගිය පාතාල නායකයෙකුගේ බිරිඳ වූ අමානි ටජී මෙම මරණය සිදු කළේ පලිගැනීමක් ලෙස බවටද වාර්තා පළව තිබුණි.


ලොක්කාගේ පෙම්වතිය වන 27 හැවිරිදි අමානි ටජි වසර දෙකක් තිස්සේ කොයිම්බතූර් හි ඔහු සමග එක්ව ජීවත්වීම (ලිවින් ටුගෙදර්) සිදු කර ඇත.

මෙම මරණය ඝාතනයක් යන සැකය පැනනැගුණ පසුව ඉන්දීය පොලිසිය අමානි සහ තවත් දෙන්නෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දෙමස් ගැබිනියක්ව සිට ඇති අතර ලොක්කා මියගිය පසු  ගබ්සාවක් කරගෙන අසාධ්‍යව සිටි බව කියැවිණි. අමානි ගබ්සාව හේතුවෙන් රෝහලට ඇතුළත් කරන ලද අතර අනෙක් දෙන්නා චෙන්නායි පුෂාල් මධ්‍යම බන්ධනාගාරයට ගෙන යන ලදී.
කොළඹ පදිංචිකාරියක වන අමානි ටජි මෙන්ම අංගොඩ ලොක්කාට උදව් කළ මදුරෙයිහි නීතිඥ සිවකාමි සුන්දාරි සහ තිරුපූර්හි ධ්‍යානේශ්වරන් යන අය අත්අඩංගුවට ගත් බව එරට පොලිස් වාර්තා වල දැක්වුණි.


අංගොඩ ලොක්කාගේ මරණය විශ්වාස කරවීමට අවශ්‍ය වූ බැවින් අමානි විසින් ශ්‍රී ලංකාවේ වාසය කළ අංගොඩ ලොක්කාගේ සහෝදරියට අවමංගල්‍ය අවස්ථාව වීඩියෝ ඇමතුමක් මගින් පෙන්වනු ලැබූ බවටද වාර්තා පළවිය.
ඔවුන් එම සංසිද්ධිය පොලිසියට දැනුම්දීමෙන් පසු මෙය මිනීමැරුමක් බවට සාක්ෂි ගොනු විය.
2020 පෙබරවාරි මාසයේ එස්.ආර්. පූරාම් හි පෞද්ගලික රෝහලකදී අංගොඩ ලොක්කා මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කර ගෙන ඇති බව පොලිසිය සොයාගෙන තිබුණි.  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ආයුධ ජාවාරම්කරුවෙකු වන ලසන්ත චන්දන පෙරේරා අනියම් සම්බන්ධතා රාශියක් පවත්වා ඇති අයෙකු බවද පැවසිණි.
අංගොඩ ලොක්කාට දෙමළ කොටින් සමඟ සම්බන්ධතා ඇති බවට නඩු විභාගය අතරතුර තොරතුරු ලැබී තිබේ. අත්අඩංගුවට ගත් සිවකාමිගේ පවුලට දෙමළ කොටින් සමඟ සම්බන්ධතා ඇති බව සොයා ගන්නා ලදී. එල්ටීටීඊයට සහාය දැක්වීම නිසා සිවකාමිගේ පියා මීට පෙර සිරගත කර තිබුණි.

අංගොඩ ලොක්කාගේ පෙම්වතිය ඇතුලු අයට පැනවූ දෙවන නඩුවේ අනෙකුත් විත්තිකරුවන් වන්නේ පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා කරමින් 2021 ඔක්තෝම්බර් මාසයේදී චෙන්නායි සිට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ හිටපු බුද්ධි අංශ ක්‍රියාකාරිකයෙකු වූ සත්කුනම් හෙවත් සබේසන් , ශ්‍රී ලංකාවේ චින්නසුරේෂ්  සහ චෙන්නායිහි සෞන්දරරාජන් යන අයයි.
ඔවුන් අංගොඩ ලොක්කා සහ ඔහුගේ හිතවතා වූ චානුක රත්නායක හෙවත් ලඩියා සමඟ සමීපව ඇසුරු කළ අයයි. ලොක්කා සහ ලඩියා ඉන්දියාවේ සැඟවී සිට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරගෙන ගොස් තිබූ බවට CB-CID වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.