
තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේ පනස් නමක් මේ දිනවල ශ්‍රි ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කරමින් සිටී. පසුගිය 23 වන දා සිට පුරා දින 12 ක් මෙම භික්ෂුන් වහන්සේ පිරිස අනුරාධපුරය දක්වා පා ගමනින් වැඩම කළා. එසේ වැඩමකර ස්වර්ණපාලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදාගෙන එහි ආගමික වතාවත්හි නිරත වුණා.
එහි දී උන්වහන්සේ පිරිස ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත කප්රුක් පූජාවක් ද සිදු කළහ.
ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක දෙරටේ බෞද්ධ සබැඳියාව පිළිබඳව සාකච්ඡාවක ද නිරතවිණි. මෙම අවස්ථාවෙන් පූජා භූමි සංවර්ධන නිලධාරී ප්‍රශාන් ධනුෂ්ක මහතා ඇතුළු පිරිස එක්ව භික්ෂූන් වහන්සේ කණ්ඩායමට ගිලන්පස පූජාවක් ද සිදුකළේ ,ස්වර්ණපාලී චෛත්‍යාරාමාධිකාරී නායක ස්වාමින්වහන්සේගේ ද සහභාගීත්වයෙන්.
මහනුවර යුගයේ දී ශ්‍රී ලංකාවේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නොමැතිවීම හේතුවෙන්,තායිලන්තයෙන් උපාලි හිමියන් මෙරටට වැඩමකරවා මෙරට උපසම්පදාව ස්ථාපනය කර තිබේ.
එලෙස උපසම්පදාව රැගෙන ඒමත් සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍යාමෝපාලී වංශික මහා නිකාය ආරම්භ වී තිබේ. එවක මෙම කටයුතු සිදුව ඇත්තේ ඓතිහාසික කෑරගල රාජමහා විහාරස්ථානයේ මැදිහත් වීමෙන්.
එලෙස සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන විත්,වසර 270 ක් පිරීම නිමිතිකරගෙනයි, මෙම තායිලන්ත භික්ෂූන් පිරිස අනුරාධපුරය දක්වා පා ගමනින් වැඩමකර ඇත්තේ.
මෙලෙස නුවර යුගයේ දී සියම් දේශයේ උපාලි තෙරුන් මෙරටට වැඩම කර උපසම්පදාව ඇති කලත් ,ඊට පෙර තායිලන්තයේ උපසම්පදාව ඇතිකිරීම සඳහා එරට සාමණේර භික්ෂූන් වහන්සේ පිරිසක් සිරිලකට වැඩමවා උන්වහන්සේ පිරිස උපසම්පදාවේ පිහිටුවා තිබේ.
එය සිදුකර ඇත්තේ,කෑරගල රජමහා විහාරයේ එවක නායක හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩවිසූ වනරතන සංඝරාජ නාහිමිගේ ප්‍රධානත්වයෙන්.
මෙකී ඓතිහාසික කරුණු මුල් කරගෙන ආගමික වැඩත් හි නිරත වීමට තායිලන්ත භික්ෂූන් වහන්සේ පිරිස මෙරටට වැඩමකරවීමේ දී මූලිකත්වය ගෙන ඇත්තේ තායිලන්තයේ චූලාලංකාර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය වල්මෝරුවේ පියරතන ස්වාමීන්වහන්සේ යි.
මෙම සංචාරය සමිබන්ධීකරණයට සම්බන්ධවූයේ ඓතිහාසික කෑරගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති සේනාදී සිව්කෝරළයේ විශේෂ අධිකරණ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක විශ්‍රාමික පරිවේනාධිපති පූජ්‍ය රජාවෙල නන්දරතන නායක ස්වාමීන් වහන්සේ විසින්.
තායිලන්ත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස පෙබරවාරි 09 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැදි සිටින අතර මිහින්තල්, මහියංගනය, පොලොන්නරුව, ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රීපාදස්ථානය වැනි බෞද්ධ සිද්ධස්ථාන ද වැඳපුදා ගැනීමට නියමිතයි.
හේෂාර සේනාල් සෝමරත්න

Comments
Post a Comment
Your comment will be visible after approval