Tanzania-Ukraine-Sudan-and-Armenia-which-canceled-the-independence-festival-due-to-various-reasons

මෙම වසරේ පෙබරවාරි 04දාට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා හැත්තෑපහක් ගත වී තිබේ. එතැන් සිට වසර හැත්තෑපස් වසරක් ගතව මේ මොහොතේදී ලංකාව ඇදී යමින් සිටින්නේ විශාල ආර්ථික අගාධයකටය. එවැනි තත්ත්වයක් හමුවේ මේ වසරේ නිදහස් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. ඒ අතර බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය මත නිදහස් උත්සවය සැමරීම නැවැත්විය යුතුය යන්නය. එමෙන්ම ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයන් අපට තුන් වේල කන්න නැතත්, අභිමානයෙන් නිදහස සැමරිය යුතු බවට මාධ්‍යයට  ප්‍රකාශද නිකුත් කර තිබේ.  කෙසේ නමුත් නිදහස් උත්සවය සඳහා වැයවෙන මුදල රුපියල් කෝට් තිස්හතක් බවටද මාධ්‍ය වාර්තා කර තිබේ. අධික පිරිවැයක් දරා සිදුකරන 75වන නිදහස උත්සවය පිළිබඳව සමාජය තුළින් විවිධ කතා නිර්මාණය වෙමින් තිබෙන අතරම නිදහස් උළෙල අවලංගු කළ රටවල් ගැනද කතාවක් ඇති වී තිබේ. විවිධ හේතූන් මත නිදහස් උත්සව කල් තැබූ ලෝකයේ රටවල් කිහිපයක් පිළිබඳව අපි මෙම ලිපියෙන් ගෙන එන්නෙමු.



ලංකාවේ මෙවර නිදහස් උළෙල සම්බන්ධයෙන් කථිකාවත් මතුවෙමින් තිබුණු අවස්ථාවේදී බොහෝදෙනාගේ අවධානය යොමු වූයේ ටැන්සානියාව පිළිබඳවය. නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සවය සෑම වසරකම දෙසැම්බර් 09දාට යෙදී තිබේ. කෙසේ නමුත් පසුගිය දෙසැම්බර් මාසයට යෙදුණ ඔවුන්ගේ ජාතික නිදහස් දින උත්සව සැමරුම අවලංගු කිරීමට ටැන්සානියාවේ ජනාධිපති සමියා සුහුලු හසන් කටයුතු කළාය. පසුගිය වසරට යෙදුණු ටැන්සානියාවේ 61වන නිදහස් දින උත්සවය සඳහා ඇමරිකානු ඩොලර් 445,000ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 160.2) වැය කිරීමට නියමිතව තිබූ අතර, එම මුදල ටැන්සානියාව පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කර තිබුණි. එමෙන්ම ටැන්සානියාව නිදහස් සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2015දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර, වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම්හි  මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් වෙන් කරන ලදී. 2020 වසරේදීද ජනාධිපති ජෝන් මගුෆුලි එයම කළ අතර, එරට වෛද්‍ය පහසුකම් සඳහා අයවැය භාවිත කරන ලෙස උපදෙස් දුන්නේය.

අගෝස්තු 24දාට යෙදෙන යුක්‍රේනයේ නිදහස් දිනය 2019 වසරේදී විශේෂත්වයක් ගනු ලැබිණි. ඒ 2019 වසරේ යුක්‍රේන නිදහස් දිනය සැමරීමේදී හමුදා ආචාර පෙළපාළිය අවලංගු කර තිබීමයි. එවකට නිදහස් උළෙලේ හමුදා පෙළපාළිය සඳහා යුක්‍රේන රජය විසින් hryvnia මිලියන තුන්සියයක් (ඇමරිකානු ඩොලර් මිලියන 11.6ක්) ඇස්තමේන්තු ගත කොට තිබුණු අතර, එහි මිල අධිකභාවය හේතුවෙන් ඔවුන් හමුදා ආචාර පෙළපාළිය අවලංගු කර තිබිණි. එම අවලංගු කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සිය නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රකාශ කර තිබෙන්නේ හමුදා ආචාර පෙළපාළිය සඳහා වැය වන මුදල් යුක්‍රේන හමුදා සෙබළුන්ගේ ප්‍රසාද දීමනා සඳහා වෙන් කරන බවයි.



2019 වසරට පෙර යුක්‍රේනය සිය නිදහස් දිනයේ හමුදා ආචාර පෙළපාළිය වෙනුවෙන් හමුදා සෙබළුන් 4500ක් සහ යුධෝපකරණ යන්ත්‍ර රැසක් යොදවා තිබෙන අතර, විචිත්‍රවත්ව සහ පොහොසත් අයුරින් පැවැත්වීමට කටයුතු කර තිබිණි. එමෙන්ම 2019 වසරේදී මෙම නව වෙනස පහදමින් ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පවසා සිටියේ, අගෝස්තු 24 විරුවන්ට ගෞරව කිරීම වෙනුවෙන් නිදහස් උත්සවයේ ආකෘතිය අලුත් වනු ඇති බවයි.

උතුරු අප්‍රිකානු රටක් වන දකුණු සුඩානය කිහිපවරක්ම සිය නිදහස් දිනය සැමරීම  අවලංගු කර තිබේ. සෑම වසරකම ජූලි නවය ඔවුන්ගේ නිදහස් දිනය යෙදී තිබේ. 2011 වසරේදී ක් සුඩානයෙන් වෙන් වී ලොවට බිහි වූ අලුත්ම රාජ්‍ය වුණු දකුණු සුඩානය 2015 වසරේදී පළමුවරට සිය නිදහස් උත්සවය සැමරීම සිදු නොකෙරිණි. යි. එමෙන්ම 2016දී ද ඔවුන් නිදහස් උළෙල අවලංගු කළේය. ඒ වන විට දකුණු සුඩානයේ උද්ධමනය සියයට තුන්සියයකින් ඉහළ ගොස් තිබීම  හේතුවෙන් සිය නිදහස් උළෙල අවලංගු කළේය. 2017 වසරේද දකුණු සුඩානය සිය නිදහස් උළෙල සැමරීම අවලංගු කරන්නේ රටේ පැවැති මුදල් තත්ත්වය මතය. එහිදී දකුණු සුඩාන රජය සඳහන් කළේ රටට අරමුදල් අවශ්‍යම අවස්ථාවකදී නිදහස් උළෙල සැමරීම සඳහා මුදල් වියදම් කිරීම අවශ්‍ය නොමැති බවය. යුදමය තත්ත්වයත්, ඇතිව තිබෙනන ආර්ථික අර්බුදය සහ 2020 වසරේ ඇතිවූ කෝවිඩ් වසංගතයත් හමුවේ 2015 වසරේ සිට පසුගිය වසර වන තෙක් දකුණු සුඩාන රජය නිදහස් උළෙල සමරිම අවලංගු කර තිබේ.

1991 වසරේදී ජනමත විචාරණයකින් අනතුරුව සෝවියට් සංගමයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වූ ආමේනියාව සෑම වසරකම සැප්තැම්බර් 21වනදා නිදහස් දිනය සමරයි.

ආසියානු රාජ්‍යයක් වන ආමේනියාව වසර ගණනාවක් පුරාවට යුද ගැටුම් මැද පවතින රටකි. දිගු කාලයක් පුරාවට පවතින නගො(ර්)නෝ සහ කරබක් (Nagorno- Karabakh) කලාපයේ අසර් බයිජානය සහ ආමේනියාව අතර යුද ගැටුම් උත්සන්න වීමත් සමග, 2022 වසරේ නිදහස් උළෙල සැමරීම අවලංගු කිරීමට ආමේනියාව කටයුතු කර තිබිණි. ආමේනියාව මෙලෙස අවලංගු කර තිබුණේ ඔවුන්ගේ 31වන නිදහස් දින සැමරුමයි. කෙසේ නමුත් මේ වසරේදී ඔවුන්ගේ 32වන නිදහස් දිනය සැමරීමට ආමේනියානු ජනතාව බලාපොරොත්තුසහගතව සිටියත්, ඇතැම්විට මෙවරද නිදහස් උළෙල අවලංගු කිරීමේ තත්ත්වයක් ඇති විය හැකි බව ආමේනියාව පවසා තිබේ.
 කැළුම් දේවින්ද