sri-mahabodhi-arrested

උදෑසන බුද්ධ පූජාව පැවති අවස්ථාවේදී වෙඩි බෙහෙත් සහ සේවා නූලක් රැගෙන උතුරු වාහල්කඩ දොරටුව දෙසින් ජය ශ්‍රී මහ බෝධියේ පහළ මළුවට ඇතුළු වීමට ගිය පුද්ගලයෙකු ඊයේ (02දා) උදෑසන අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලීසිය පවසයි.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාලපොලදෙණිය, හොරන්ගල්ල, තල්ගස්වල, ගාල්ල ලිපිනයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. ශ්‍රී මහා බෝධියට ඇතුළු වන උතුරු දොරටුවෙන් ඇතුළුවීමේදී,

පොලීසිය සිදුකළ පරීක්‍ෂාවකදී සැකකරුගේ ගමන් බෑගයේ තිබී, කළු වෙඩි බෙහෙත් ග්‍රෑම් 32ක ප්‍රමාණයක් සහ සෙන්ටිමීටර 57ක් දිග, වෙඩි බෙහෙත් පුපුරවා හැමට යොදා ගන්නා සේවා නූලක් තිබී හමු වූ බවත්, මුල් අවස්ථාවේදී එය දත් මැදීමට යොදා ගන්නා කුඩු වර්ගයක් යැයි සැකකරු පැවසූ බවත් පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී උඩමළුව පොලිස් ස්ථානාධිපති ඩබ්.ඩබ්.සී.එල්.ආර්.බී.කේ. වෑත්තෑව මහතා සිදුකළ දැනුම්දීමකට අනුව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතා සහ සහකාර පොලිස් අධිකාර් සංජීව මහනාම යන මහත්වරුද එම ස්ථානයට පැමිණියහ.

කැකිරාව ප්‍රදේශයේ නිධානයක් ඇති ස්ථානයක ඇති කළුගලක් පුපුරවා හැරීම  සඳහා මෙම වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවත්, වර්ෂාව නිසා එම ස්ථානයට ජලය පිරී ඇති බවට එහි සිටින අයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන්, ඒ සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගැනීමට කටයුතු කළ බව සැකකරු කළ ප්‍රකාශවල සටහන් වන බවත් පොලීසිය පවසා සිටියි. කිසියම් කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීම සඳහා සැකකරු විසින් මෙම වෙඩි බෙහෙත් රැගෙන ආවේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.   සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.
 බී.ජී. චතුරංග