power-cut-court-order

අ.පො.ස. උ.පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව  අතරතුර විදුලිබලය  කප්පාදු නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු  ඊට සම්බන්ධ පාර්ශ්වකරුවන් දුන් එකඟත්වය කඩකිරීම සම්බන්ධ  පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම  ගොනු කළ පෙත්සමේ කරුණු  තහවුරු කරන තුරු එනම් අද දින පෙ.ව. 11 වනතුරු කිසිදු  ආකාරයේ විදුලිය කප්පාදුවක් නොකරන බවට විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට  ඊයේ (02) පොරොන්දු විය.

මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අද දින (2) පෙ.ව. 11.00 ට කැඳවන ලෙස ද නියෝග කෙරිණි. මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන  මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි. මෙවර අ.පො.ස. උ.පෙළ  විභාගයට විදුලිය අත්හිටුවීමෙන් බාධා වන බැවින් මෙම හදිසි කර්තව්‍යක් ලෙස සලකා නඩුව සලකා බැලිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.



මෙම පෙත්සම සලකා බැලූ  අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කිහිප දෙනකුගෙන් උපදෙස් ඒ ලබාගත යුතු බවත් අනුව අද දින (3) පෙත්සම කැඳවන ලෙසත් එතෙක්  විදුලිය කප්පාදු කිරීමක්  නොකරන බවට අධිකරණයට පොරොන්දු වන බවත්ය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා  කියා සිටියේ ජල විදුලිය මගින් සියයට 24 ක ප්‍රමාණයක් විදුලිය උත්පාදනය කරන බවත් ඉතිරිය ඛනිජ තෙල් ආශ්‍රිත සිදු කරන්නක් බවත් ඊට අධික වියදමක් දැරීමට සිදුවන බවත්ය.



මහජන  උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නෙරංජන් අරුල් ප්‍රගාසම් මහතා කියා සිටියේ විදුලිබලය සම්බන්ධයෙන්  නියාමනය සිදුකරන්නේ මහජන උපයෝගිතා කොමිසම මගින් බවත් එම කොමිසමේ අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමක් සිදුනොකළ යුතු බවද අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී විදුලිය කප්පාදු නොකරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බවත්ය. පාර්ශ්වකරුවන්ගේ කරුණු දැක්වීමෙන් පසුව පෙත්සම අද දින (3) පෙ.ව. 11 ට කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.


රංජන් කටුගම්පොළ