shades-roshan-story

ෂේඩ්ස් නිමි ඇඳුම් ජාලය හිමි ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතනය සම්බන්ධ තවත් තොරතුරු කිහිපයක් මේවනවිට වාර්තාවේ.
පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට ආරංචි වී පසුව 01 වනදා සවස බත්තරමුල්ල තෙමහල් නිවසක පිහිනුම් තටාකයක තිබී මළ සිරුර හමුවීමෙන් පසු ඔහු ඝාතනය කර ඇති බවක් හදුනාගත් අතර එම තොරතුරු ඔස්සේ පොලිස් විමර්ශන සිදුවූ නමුත් මියගිය අයගේ සිරුර ඔහුගේමද යන්න තවම නිශ්චය කරගෙන නොමැත.
පශ්චාත් මරණ පරීක්ෂණයට එක්වූ රොෂාන්ගේ මව හා සොයුරියන් පවසා තිබුනේ මේ රොෂාන් නොවන බවයි. ජලයේ ගිලී නරක්ව ඉදිමී තිබූ සිරුර දැක ඔවුන් බියවූ බව කියැවේ.

මියගිය අය සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් ඒ අනුව ඇරඹූ අතර එහි ප්‍රතිඵල සමග සඳුදා (6) නැවත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන්නට නියමිතය.
රොෂාන්ට සිටින්නේ සහෝදරියන් පස් දෙනෙකි. ඔහු පවුලේ තෙවැන්නා මෙන්ම එකම පිරිමි දරුවා විය. වත් පොහොසත්කම අඩු පවුලක ඉපදුණ ඔහු උත්සාහයෙන් ඉහළට ආ ව්‍යාපාරිකයෙකි. රොෂාන්ගේ පියා බෝතල් පත්තර වෙළෙඳාමේ කලක් නිරතවූ බවත් පසුව බීඩි නිෂ්පාදනය කරන්නෙකු බවට පත්වූ අයෙකු බවත් පැවසේ. වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ඔවුන් වාසය කරන නිවසට අසල්වැසියන් කියන්නේ ‘බීඩි ගෙදර‘ කියාය. දරුවන් හය දෙනාද සමග එක්ව බීඩි නිෂ්පාදනය කරමින් එදිනෙදා වියදම සරිකරගන්නා අගහිඟකම් මැද ජීවත්වූ පවුලක් විය. ජීවත් වූ නිවසේ තාර තහඩු හෙවිල්ලා තිබුණ අතර මැටි බිමක් සහිත පැල්පතකි.මෙම පවුලේ වෙනසක් ඇති කරේ රොෂාන්ගේ වැඩිමල් සොයුරියයි. ඇය හොඳින් අධ්‍යාපනය ලබා වරලත් ගණකාධිකාරීවරියක බවට පත්වූ අතර කලක් සේවය කළේ ඉහළ පෙලේ ඇඟලුම් කම්හලකය.

ඇය තම සොයුරාට දියුණුවට අතදුන් අතර ඇඟලුම් කම්හලේ ඉවත දැමෙන රෙදි කැබලි ටෙන්ඩරය ලබාගන්නට උදව් කර තිබේ. රොෂාන් එම රෙදි කැබලි මූට්ටු කර නිමි ඇඳුම් අලෙවි කරන ව්‍යාපාරයක් සුළුවෙන් ආරම්භ කළ අතර  මහන මැෂින් කිහිපයකින් පටන්ගෙන පසුව සේවකයින් විශාල පිරිසකගේ ව්‍යාපාරයක් දක්වා එය දියුණු කරගත්තේය.
නිමි ඇඳුම් සාප්පුවක් ෂේඩ්ස් (shades) වෙළද නාමයෙන් ස්ථාපිත කළ ඔහු එහි ශාඛා බත්තරමුල්ලේ, රාජගිරියේ,කොටිකාවත්තේ හා මාළඹේ දක්වාද ව්‍යාප්ත කළේය.
කුඩා කල සිටම බුද්ධ ධර්මයට ළැදිව කටයුතු කළ ඔහු මහණවීමේ ආසවකින්ද පෙළුණ අයෙකු බව වාර්තාවිය. විවාහ ජීවිතයට නොපිවිසුණ අතර වයස 49 ක් දක්වාම ගත කළේ තනිකඩ දිවියකි. කඩුවෙල පූජ්‍ය ඥාණානන්ද හිමිගේ අසපුව සමග සමීප ඇසුරක් පැවැත්වූ ඔහු නිරන්තරයෙන් ඒ වෙත ගමන්කළඅතර අසපුවට අයත් ශ්‍රද්ධා රූපාවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද මුල සිටම කටයුතු කළේය.
රොෂාන් අතුරුදන්වූ අවස්ථාවේ කඩුවෙල පිහිටි අසපුවට පවා ඇමතුම් ගෙන එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේගෙන් සිය සහෝදරයා එහි පැමිණියේදැයි සොයා බලන්නට රොෂාන්ගේ සහෝදරියන් පියවර ගෙන තිබුනේ  ඔහු නිතර එහි යන එන නිසාය.
කෙතරම් ව්‍යාපාරික වශයෙන් ඉහළට ගියත් ඔහු ගෙවල් දොරවල් හදන්නට එතරම් උනන්දුවක් නොවූ අතර වැල්ලම්පිටිය කිත්තම්පහුවේ නිවස වැඩිදියුණු කරගෙන සහෝදරියන් සමග එහිම වාසය කරමින් සිටියේය.


මරණය සිදුවූ බත්තරමුල්ල පැලවත්ත නිවස රොෂාන් හැදූ එකක් නොවන බවත් ඔහු එය මීට ටික කලකට පෙර මිලට ගත් එකක් බවත් පැවසේ. අලුතින් හැදූ නිවසක් වුවත් එහි වැඩ අවසන්ව නොතිබී කාලාන්තරයක් තිස්සේ පාළුවට ගොස් ජරාවාසවී තිබූ එකකි.
එය පිළිසකර කර පදිංචියට ඒමට රොෂාන්ගේ සැලසුමක් තිබී ඇත. රොෂාන්ගේ මිතුරන් පවසා ඇත්තේ ඔහු පමාවී හෝ විවාහවී මෙම නිවසට එන්නට සැලසුම්කර තිබූ බවයි.
ජනවාරි 30 වෙනිදා සවස 5.30ට පමණ කිත්තම්පහුවේ නිවසින් KE 9998 ටොයොටා වර්ගයේ සුදුපැහැති වාහනයෙන් පිටව බත්තරමුල්ල නිවසට යන බව කියා යන රොෂාන්ට රෑ කෑම ලෑස්ති කර තබන්නද යන්න අසන්නට සොයුරියක රාත්‍රී 7 ට පමණ ඇමතුමක් ගන්නා අතර පසුව ඔහු ගැන හෝඩුවාවක් නොලැබේ. අවසන් ඇමතුමට එකවර සම්බන්ධ කරගන්නට නොහැකිවීමත් මිස් කෝල් එකකට ඔහු 7.29ට පිළිතුරු දීමත් නිසා ඔහුගේ අවසන් ඇමතුම ගැන සැකයක්ද සොයුරියට පැනනැගුණ අතර එතැන් සිට ඔහු දුරකථනයට උත්තර දුන්නේ නැති නිසා අතුරුදන් බවට පැමිණිල්ලක්ද කර තිබුණි. මළ සිරුර හමුවන්නේ දින 2 කට පසුවය.
මේ අතර කාලයේ සිදුවූ දේවල් ගැන විවිධ සොයා ගැනීම් පොලිසිය සිදුකර තිබේ.

පොලිසිය පවසන්නේ අවසන් වරට බත්තරමුල්ල නිවසට රොෂාන් එන්නේ ඝාතන සැකකාර යුවළ සමග බවයි. මෙම යුවළ එසේ පැමිණෙන්නට පෙර කළුබෝවිල ෆාමසියකින් කොන්ඩම් මිලට ගැනීමක් සිදු කරන ආකාරය සීසීටීවී ඔස්සේ පරීක්ෂා කර ඇති පොලිසිය පවසන්නේ එතැන සිටින කාන්තාව විදෙස් නිළියක මෙන් පෙනුමක් ඇති අයෙකු බවයි. පිරිමියාද හැඩිදැඩි පෙනුමක් ඇති අයෙකු බවයි. මේ දෙන්නා රොෂාන්ගේ වාහනයට නගින්නේ බත්තරමුල්ල නිවසට ඔහු එන්නට පෙර මහමග කිසියම් ස්ථානයකදී විය හැකි බවට අනුමාන කර තිබේ. රොෂාන් සමග නිවසට යන ඔවුන් එම නිවසේ පැය කිහිපයක්ම ගතකරන අතර අනතුරුව රොෂාන්ගේ වාහනය පදවාගෙන පිරිමියා පමණක් යන්නට ඇති බව පොලිසිය මුලින් කියා තිබුණද දැන් පවසන්නේ යුවළම වාහනයෙන් පිටව ගිය බවය.
නිවසේදී ඔවුන් රොෂාන් මරාදමන්නට ඇතැයි සැකකරන අතර එය කෙසේ කළේදැයි තවම පැහැදිලි නැත. පිහිනුම් තටාකය ආසන්න ලේ පැල්ලම් හා ඇදගෙන ආ සලකුනු නිසා වෙනත් තැනක නිරුවත් කර මරා දමා ඔහු ඇදගෙනවිත් පිහිනුම් තටාකයට දමා යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. හිසට පොල්ලකින් පහරදී මරා දමා ඇති බවට සලකුනුද හමුව තිබේ.
රොෂාන් ඇඳසිටි බව කියන ඇඳුම්ද ඒ ආසන්නයේ තිබූ අතර පොලිසියට හෝඩුවාවන් ලබාදුන් කොන්ඩම් තුනක් හා අදාළ බිල්පත්ද ඒ අසළින් හමුවිය.

පාවිච්චි කළ කොණ්ඩමය පොලිසිය නොමග යවන්නට යෙදූ උප්පරවැට්ටියක්ද යන්න සැකයක් මතුව තිබේ. එහි තැවරුණු ද්‍රව්‍ය ඩීඑන්ඒ පරීක්ෂාවකට මේවනවිටත් යොමු කර ඇත.
යුවළ නිවසේ සිටින අවස්ථාවේ රොෂාන්ගේ ජංගම දුරකථනය ඔස්සේ ගුවන් ටිකට් පත් සඳහා අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර ඇති අතර පාවිච්චි කර ඇත්තේ ඔහුගේ ක්‍රෙඩිට් කාර්ඩ් පත් හා අදාළ රහස්‍ය අංකයි.
රොෂාන්ගේ වාහනයෙන්ම පළායන යුවළ කටුනායක වෙත යද්දී අධිවේගී මාර්ගයේදී වාහනයේ දෝෂයක් හටගැනීම නිසා කිසියම් වේලාවක් රස්තියාදු වෙමින් කාලය ගත කර තිබෙන අතර මේ කාලය තුළ කිසිදු කලබලයක් නැතිව හැසිරීමද ගැටලුකාරීය. ඔවුන් වාහනය ගරාජයක් වෙත ගෙන යාමටද වේලාව නාස්තිකරන අතර වාහනය ගෙනවිත් දුන් අයට සේවා ගාස්තුව ලෙස රුපියල් 15000 ක් ගෙවා තිබුණි. මාරු නැතැයි කියූ ඔවුන් එම 15000 න් 10000 ක් කෑෂ් වලින්ද ඉතිරි 5000 රොෂාන්ගේ දුරකථනයෙන් ලොග්වී බැංකු ගිණුම හරහා අදාළ සේවා සැපයුම්කරුගේ ගිණුමටද බැර කර තිබේ. ඒ අනුව පෙනී යන්නේ ඔවුන් රොෂාන්ගේ බැංකු ගිණුම් රහස්‍ය අංක විස්තර පවා දැන සිටි බවයි. පොලිසියට කට උත්තර සපයා ඇති සේවා සපයන්නා පවසා ඇත්තේ මෙම යුවළ සිංහල බස නිවැරදිව උච්චාරණය කරන්නට අපහසු අය යයි හැඟුණ බවයි. කාන්තාව විදේශ ජාතිකයෙකු හෝ බර්ගර් ජාතිකයෙකු යයි අනුමාන කරන බවයි. ඉංග්‍රීසි බසින් හා කැඩුණ සිංහලෙන් පිරිමියා කතා කර ඇත.
ගුවන් තොටුපලෙන් බැස්ස පසුව ගුවන් තොටුපළේ වෙලෙඳ සැලකදී රුපියල් 300 ක් ගෙවා වතුර බෝතල් දෙකක් මිලට ගන්නටද මෙම යුවළ කටයුතුකර ඇත්තේ රොෂාන්ගේ කාඩ්පතක් පාවිච්චි කරමිනි.
එදින රාත්‍රී මැලේසියාව හරහා ඉන්දුනිසියාවට යාමට යුවළ සැලසුම් කර ටිකට්පත් ලබාගෙන තිබූ බව පොලිසිය පැවසූ අතර ඊයේ වනවිටත් එම යුවළ රටින් පිටවුනේද නැද්ද යන්න පොලිසිය තහවුරු කරගෙන තිබුනේ නැත.