passport-20000-bribe

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම  දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකවරියක සහ තැරව්කරුවන් තිදෙනකු ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (16) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක තල්දියවල, අතුරුගිරිය පදිංචි ගම්ලත් රත්නායකගේ සචිනි සිතාරා ජයසිංහ, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක කිතුල්පිටිය, බණ්ඩාරගම පදිංචි අලුත්ගෙදර ජයලත් පාලිත ගුණසිංහ, ලොතරැයි අලෙවිකරුවකු වන හෙට්ටිපොළ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රාමනායක සහ දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවකු වන මීගමුව පාර කඳාන පදිංචි කසුන් කලිඳු චන්ද්‍රසේන යන අයවලුන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට  පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මලලසේකර මාවත, කොළඹ 07 ලිපිනයැති කරුණානායක මුදියන්සේලාගේ නුවන් ජානක සෙනෙවිරත්න යන අය විසිනි.  විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර, එසේ දින වෙන්කර ගැනීමට පැමිණෙන ජනතාව පෝලිමේ සිටින බවත්,

එසේ සිටින අවස්ථාවේදී මෙහි දෙවැනි සැකකාර ලොතරැයි අලෙවි කරන්නා එම ජනතාවට කතා කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. පෝලිමෙන් පැන එන එවැනි ජනතාවට විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා රජයේ ගාස්තුවට අමතරව රුපියල් 15,000 සිට 20,000 දක්වා මුදලකට එක්දින සේවාවෙන් ගමන් බලපත්‍රය ලබා දීම සඳහා කටයුතු කරන බවට මෙම දෙවැනි සැකකරු සඳහන් කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව, දෙවැනි සැකකරු පළමු සැකකාර ගොඩනැගිලි ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයාට මේ බව දැනුම් දෙන අතර ඔහු විසින් එය දුරකතන සිම්කාඩ් පත් නිකුත් කරන තැනැත්තාට දුරකතනය ඔස්සේ දැනුම් දෙන බවත් පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය කාර්යාල කාර්ය සහායකවරිය කාර්යාලයෙන් පිටතට පැමිණ අදාළ අයැදුම්පත ඇතුළු වාර්තා රැගෙන ගොස් අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

මහජනතාවගෙන් ලද නිර්නාමික පැමිණිලිවලට අනුව ආවේක්ෂණ රාජකාරි කර උපායදූතයකු යොදවා මෙම වැටලීම කළ බවත් එහිදී මෙම සැකකරුවන් ජාලගතව ක්‍රියාත්මක වන ආකාරය අනාවරණය කර ගත් බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.


නිමන්ති රණසිංහ