onesh-subasinghe-murder-update

ඉන්දුනීසියානු මහල් නිවාස කාමරයක මරාදමා තිබුණ කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර ඔහු මරා දමන බවට බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව ඔහුට අවස්ථා කිහිපයක දී ම තර්ජනය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔනේෂ් තම සේවකයින් පවා දැනුවත් කර තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන ඇත.



ඔනේෂ් හා බ්‍රසීල ජාතික රෝසා නමැති බිරිය අතර කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි නිවෙසේ සිටියදී දේපළ සම්බන්ධයෙන් නිතර නිතර අඩදබර හටගෙන ඇති  අතර “මම උඹව මරනවා” (අයි විල් කිල් යූ) යැයි ඇය කිහිප අවස්ථාවකදීම ඔනේෂ්ට මරණ තර්ජනය කර ඇති බව සොයාගෙන තිබේ.

නිවෙසේ සේවය කරන සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇත්තේ එක් අවස්ථාවක ඔනේෂ් සේවකයන් කැඳවා
“මාව මරනවා කිව්වා, ඔයාලා තමයි මාව බලාගන්න ඕනේ” යනුවෙන්ද සිය මරණ බිය ගැන කරුණු කියා තිබූ බවයි.
රෝසාගේ මිතුරිය බව කියන සැකකාරිය මීට මාස 4 ට පමණ පෙර මෙම නිවෙසට පැමිණ ඇති  අතර ඇය පැමිණි පසු නිවසේ ඔවුන් දෙන්නා වෙනම ආධිපත්‍යයක් දරා ඇති බවත් සේවකයින් පවසා තිබේ. ඔවුන් ඔනේෂ් යටත් කරගෙන මෙන් කටයුතු කළ බවත් පවසා තිබේ. බ්‍රසිලියානු සේවිකාව වැටුපක් ලබන කෙනෙකු වුවත් ඇය හැසිරී ඇත්තේ බිරියගේ සොයුරියක මෙනි. ඔවුන් එකම කාමරයක නිදාගෙන තිබූ බවද හෙළි විය.


බිරිඳ, දියණිය සහ බිරිඳගේ මිතුරිය සමග සංචාරයක් සඳහා ඉකුත් 19 වැනිදා ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇති අතර 03 වනදා ඔනේෂ් ඝාතනයෙන් පසු ඔවුන් දෝහා කටාර් හරහා බ්‍රසීලයේ, සාඕ පාවුළු වෙත පළාගොස් ඇති බව මේ වනවිට තොරතුරු හෙළිදරව් කරගෙන තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ සිද්ධියෙන් පසු පලාගොස් සිටින බිරිය හා ඇගේ යෙහෙළිය සොයා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට සහ බ්‍රසීලයට යාමට නියමිතව ඇත.
 බ්‍රසීල ජාතික බිරිඳගේ මිතුරිය මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔනේෂ් සුබසිංහ මහතා මෙරටදී ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පළ කරන අතර එය ව්‍යවර්ථවූ පසු ඔහු රවටා ඉන්දුනීසියාවට රැගෙන ගොස් ඝාතනය කර ඇති බවට සැක මතුව තිබේ.

ඔනේෂ් සුබසිංහ මහතා මෙරට ව්‍යාපාර තිස් දෙකක් හිමි අයෙකුවූ අතර ලංකාවේ එළවළු පෝර සම්බන්ධයෙන් ප්‍රමුඛතම ආයතනය වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.