horowpathana-incident

කුඩම්මාගෙන් සිදුවන හිරිහැර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක දැරියක තනිවම පොලිසියට පැමිණ පසුගිය 4 වනදා සවස පැමිණිලි කළ බව හොරොව්පොතාන පොලිසිය කියයි. දැරියගේ මව මීට අවුරුදු පහකට පමණ පෙර මිය ගොස් ඇති අතර පසුව ඇගේ පියා විසින් දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කරගෙන සිටින බව පොලිසිය පවසයි.





කුඩම්මා විසින් ඇගේ දියණියට ඉතා ආදරයෙන් සලකන බවත් තමන්ට බැණ වදිමින් හිරිහැර කරන බවත් දැරිය පොලිසියට පවසා ඇති අතර කුඩම්මා විසින් සිදුකරනු ලබන හිරිහැර ඉවසා ගත නොහැකි තැන මෙලෙස පොලීසියට පැමිණි බව දැරිය හඬමින් පැවැසූ බව පොලිසිය කියයි.දැරියගේ නිවසේ සිට පොලිසියට කිලෝමීටර් හතරක පමණ දුරක් ඇති බව පවසන පොලිසිය ඇය පා ගමනින් එම දුර ගෙවා පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බව ද කියයි.

ඒ අනුව දැරියගේ කුඩම්මා වන හතළිස් එක් හැවිරිදි කාන්තාවක් පොලිසිය 4 දා සවස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඇයට දැඩිලෙස අවවාද කොට  ඇපමත මුදාහැර තිබේ. දැරියගේ නැන්දම්මා සහ ආච්චි ගෙන්වා දැරියගේ සම්පූර්ණ වගකීම ඔවුන් දෙදෙනාට පැවරූ බවත් එහි අධීක්‍ෂණය පොලීසිය විසින් සිදුකරන බවත් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා පැවසීය.

පැතුම් දර්ශන