nuwara-eliya-gun-shot-sound

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති නුවරඑළිය සෙන්පති මැඳුරේ මන්ත්‍රීවරුන් තිදෙනකු සහ ඔවුන් සමග පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ඉකුත්දා පැවැත්වූ රාත්‍රී සාදයක් අතරවාරයේ වෙඩි හඬ ඇසුණු බව සඳහන් කරමින්, 

එහි භාරකරු නුවරඑළිය මූලස්ථාන පොලීසියට ඉකුත් 4 වැනිදා පැමිණිල්ලක් කර ඇත. එම සාදය පැවැත් වූ දිනට පසු දින මැඳුර පිරිසුදු කිරීමේදී එහි තිබී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලවලට යොදන හිස් උණ්ඩ දෙකක් හමු වූ බව කියමින්, එම හිස් උණ්ඩ දෙක ද පොලීසියට බාර දී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.




නුවරඑළියේ පිහිටි සෙන්පති මැඳුරේ ඉකුත් 28 වැනිදා රාත්‍රී කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ සහභාගිත්වයෙන් සාදයක් පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඊට ඔවුන් සමග පැමිණි තිස් දෙනකුගෙන් පමණ යුත් පිරිසක් ද සහභාගි වී ඇතැයි පොලීසිය  කියයි. සාදය පැවැති අතරවාරයේ වෙඩි හඬට සමාන හඬක් ඇසුණු බවත්, පසු දින එනම්, 29 වැනිදා  පරිශ්‍රය පිරිසුදු කිරීමේදී මෙම හිස් උණ්ඩ දෙක හමු වූ බවත්, සෙන්පති මැඳුරේ බාරකරු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බව සෙන්පති මැඳුරේ බාරකරු පවසන්නේ යැයි පොලීසිය කියයි.  

සෙන්පති මැඳුර තුළ වෙඩි තැබීම සිදු කළේ කවුරුන් ද යන්න ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බව එම නිලධාරියා පැවැසීය. වෙඩි තැබීමෙන් කිසිදු අයකුට තුවාලයක් හෝ දේපොළ හානියක් සිදු වී නොමැති බව පොලීසිය කළ පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත.නුවරඑළිය මූලස්ථාන පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය