feb-8-protest

වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් මහජනතාවට බලපාන සේවා රැසක්ම අඩාල වනු ඇති බවට සලකුණු පහළවී තිබේ.


අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් වෛද්‍ය, විදුලි, වරාය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල, ප්‍රා. ලේකම් කාර්යාල හා බැංකු ඇතුළු වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් අද පැවැත්වෙන විරෝධතාවට එක්වනු ඇත‍.
ප්‍රධාන විරෝධතා රැළිය පැවැත්වෙන්නේ, කොළඹ හයිට් පිටියේදීයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර  ළමා, මාතෘ, පිළිකා ඇතුළු රෝහල් හැර රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල පැය 24 ක මෙම වර්ජනය ක්‍රියාත්මකයි.
පුද්ගලික රෝහල් චැනලින් සේවාද නවතා දමා ඇත.
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් ද අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද මෙයට එක්වීම නිසා සරසවි අධ්‍යයන කටයුතු නතර වනු ඇත.
විදුලිය, ජලසම්පාදන, ඛනිජ තෙල් සහ වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් අද දහවල් කොළඹ කොටුවේදී ඒකාබද්ධ විරෝධතාවක නිරත වන බව දන්වා ඇත.


වරාය වෘත්තීය සමිති අද පෙරවරුවේ සිට අකුරට වැඩ කරනු ඇති අතර ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සියලු සාමාජිකයින් අද දිනයේ සේවාවලින් ඉවත් වනු ඇත.
ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද වැඩ වර්ජනය කරනු ඇත.
 ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය අද දිනයේ ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇත.
ජල සම්පාදන සේවක සංගමය ද අද පැවැත්වෙන විරෝධතාවට එක්වනු ඇත.
මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසුවේ, අද දිනයේ බැංකු ගනුදෙනු පෙරවරු 10.30 ට අත්හිටුවීමට තම සාමාජිකයින් තීරණය කර ඇති බවයි.