habarana-musical-show

වනසතුන්ට බාධා සිදුවන ආකාරයට හබරණදී පැවැත්වීමට නියමිතව තිබෙන සංගීත හා සංස්කෘතික සැණකෙළිය නවතා දැමීමට කටයුතු නොකළහොත් රාජ්‍ය ආයතන කිහිපයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර සංවිධාන සඳහන් කරයි.  හබරණ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අලි මංකඩක් වන හුරුළු පරිසර උද්‍යානය අසලදී මේ මස 17, 18 සහ 19 යන දිනවලදී මෙම සැණකෙළිය පැවැත්වීමට යම් කණ්ඩායමක් සැලසුම් කර තිබෙන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා පැවසීය.

පරිසර සංවිධාන ඒකාබද්ධ වී කොළඹදී ඊයේ (14දා) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හේමන්ත විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ම

ෙම වැඩසටහන සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තෙම්න්තුව විසින් මුලින් අවසර ලබාදී තිබුණද, පසුව අදාළ අවසරය ඉවත් කරගෙන තිබෙන බවයි.  මේ නිසා මෙම ස්ථානයේ සැණකෙළිය හා සන්දර්ශනය පැවැත්වීමට සංවිධායකවරුන්ට නීතිමය හැකියාවක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

මේ නිසා වනසතුන්ට පීඩා කරමින් රාත්‍රී කාලයේදී පැවැත්වීමට නියමිත මෙම සැනකෙළිය නවතා දමන ලෙස පොලීසියෙන් හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් හා  වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙන බවද හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය. යම් ලෙසකින් මෙම සැණකෙළිය අදාළ ස්ථානයේ පැවැත්වීමට කටයුතු කළහොත් මෙම ආයතනවලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, අදාළ ක්‍රියාවට සහයෝගය දක්වමින් ප්‍රාදේශීය ලේකම්වරයෙකුත් කටයුතු කරන නිසා අදාළ නිලධාරියාට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.



ශබ්ද දූෂණය මැඬලීම සඳහා වන පොලිස් චක්‍රලේඛයක් තිබෙන බවත්, මේ නිසා අධික ශබ්ද තරංග උපයෝගී කරගෙන සිදුකිරීමට යන මෙම ක්‍රියාව නවතා දැමීමට පොලීසියට හැකියාව තිබෙන බවත් හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය. මෙම ස්ථානය ආශ්‍රිතව පවතින අලිමංකඩ තුළින් දිනකට අලින් 150ක් - 200ක් පමණ කරන බවත්, මීට අමතරව විශාල වනසතුන් ප්‍රමාණයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන බවත් ඒ මහතා පැවසීය.  මෙම සැණකෙළිය හා සංගීත සංදර්ශනය වෙනත් ස්ථානයක පැවැත්වීමට හැකියාව තිබෙන නමුත්, එසේ නොමැතිව වනසතුන්ට බාධා කරමින් මෙම ස්ථානයේ අදාළ කටයුත්ත සිදුකළහොත් සංව්ධායකවරුන්ට එරෙහිවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවද හේමන්ත විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ