rambukkana-incident

රඹුක්කන ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථයක් හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී කාලයේ නවතා එහි රියැදුරු නිවෙස බලා ගිය පසු කොන්දොස්තරවරයා බස් රථය රැගෙන සිය  පෙම්වතිය බැලීමට යාමේදී බස් රථය අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි. බස්රථය රැගෙන ගිය කොන්දොස්තරවරයා හතරලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. රඹුක්කන - හතරලියද්ද මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් එම බස් රථය හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී කාලයේ නවතා තබා ඇත්තේ පසුදින පාන්දර 5.30 ට නැවත රඹුක්කන බලා ගමන් ආරම්භ කිරීම වෙනුවෙනි. බස් රථය නවතා එහි රියැදුරු නිවෙස බලා ගියත් කොන්දොස්තරවරයා දුර බැහැර පුද්ගලයකු වූ බැවින් ඔහු බස් රථයේම නිදා ගෙන ඇතැයි පොලිසිය කියයි.



කොන්දොස්තරවරයා බස් රථය පණගන්වාගෙන කිලෝමීටර් අටක් පමණ දුරකින් පිහිටි කැබැල්ලවත්ත නමැති ප්‍රදේශයට එදින රාත්‍රියේම ගොස් ආපසු එමින් සිටියදී බස් රථය අනතුරකට පත්වුවත් එය නොදන්වා ඔහු බස් රථය තිබූ ස්ථානයේම නැවත ගාල් කර ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත. කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන කළ දීර්ඝ පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු වරද පිළිගෙන බස් රථය පණ ගන්වාගෙන කැබැල්ලවත්ත ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රි කාලයේ ගොස් ආපසු පැමිණි බව පවසා ඇත.හතරලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී.එස්. නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

ෂේන් සෙනෙවිරත්න