ඝාතනය කර ඇතැයි කියන කාන්තාවන් දෙදෙනකුගේ සිරුරු දෙක ඊයේ (1) පස්වරුවේ දී ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ නිවසක තිබිය දී සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. මෙසේ සොයා ගැනුණේ ඇල්පිටිය ගනේගොඩ තේරංගොඩ පහළ ලිපිනයේ පදිංචි උහන්ඕවිටගේ මල්ලිකා නමැති 69 හැවිරිදි විවාහක කාන්තාවකගේ සහ ඇල්පිටිය ගනේගොඩ ඕමත්ත ලිපිනයේ පදිංචි උඩුගමසූරිය ඥානවතී නමැති 80 හැවිරිදි කාන්තාවගේ මළ සිරුරු දෙක බව ද පොලීසිය පවසයි.



මේ කාන්තාවන් දෙදෙනා සිටි නිවසේ  දොරවල් දහවල් වනවිටත් විවෘත නොකර තිබීම  සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විපරම් කිරීමේ දී ඔවුන් දෙදෙනා මිය ගොස් සිටි අයුරු දැක ඒ සම්බන්ධයෙන් කළ දැනුම් දීමකට අනුව මළ සිරුරු දෙක සොයා ගත් බවද පොලීසිය කියයි.මිය ගොස් සිටි එක් කාන්තාවකගේ සිරුර එම නිවසේ නාන කාමරයේ දී ද අනෙක් කාන්තාවගේ සිරුර කාමරයේ ඇඳක් උඩ තිබියදීද සොයා ගත් බව පොලීසිය පවසයි. ඇඳ උඩ මළ සිරුර තිබුණේ 80 හැවිරිදි අවිවාහක කාන්තාවගේ බවත් ඇය කිහිලිකරු දෙකක් ආධාරයෙන් ඇවිද යන තැනැත්තියක් බවත් පොලීසිය කියයි.

හැටනව හැවිරිදි කාන්තාවගේ මළ සිරුර නිවසේ නාන කාමරයේ තිබූ බවත් ඇය විවාහක වුවද ඇයගේ සැමියා මියගොස් සිටි බවත් පොලීසිය පවසයි.

ඝාතනය වූ කාන්තාවන් දෙදෙනාම ඥාතීන් බවත් ඔවුන් දෙදෙනා දෙනෑනෝ බවත් ඔවුන් දෙදෙනාම වාසය කර ඇත්තේ මේ නිවසේ බවත් පොලීසිය කියයි. මේ කාන්තාවන් දෙදෙනාම ඝාතනය කරන්නට ඇත්තේ ගෙල සිර කිරීමෙන් වන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය පවසයි. කාන්තාවන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ඊයේ (1) පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබිණි. ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 එම්. සුසිල් ප්‍රියන්ත