මැතිවරණයක් කැදවා තිබෙන අවස්ථාවක මැතිවරණ නීති රීති උල්ලංඝනය වන ආකාරයට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයක් මත මැතිවරණ රාජකාරි කටයුතු භාර නිලධාරිනියක වන හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානි ජයසිංහ මහත්මියට ලබාදී තිඛෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය. මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් අසාධාරණ ලෙස තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රියානි ජයසිංහ මහත්මිය ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා පෙරේදා (31) එම නියෝගය නිකුත් කළේය.



වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔභ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, වයඹ පළාත් පාලන කොමසාරිස් එච්.එම්.සී. ජයලත්, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා හලාවත ප්‍රාදේශීය සභාව මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව විජේපාල මහතා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.  වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා විසින් හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය වන පළාත් කළමනාකරණ සේවයේ අධිශ්‍රේණියේ නිලධාරිනියක වන ශ්‍රියානී ජයසිංහ මහත්මිය 2023 පෙබරවාරි 1 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල පිහිටි වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාලය වෙත තනතුරක් නොමැතිව මාරු කර යවා ඇත.

හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ලෙස ඉතා අවංකව හා දක්ෂ ලෙස කටයුතු කරමින් සිටියදී දූෂණ චෝදනාවකට ලක්වූ එම සභාවේ සැපයුම් නිලධාරියා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුව ඔහු වෙනත් තනතුරකට මාරු කරන ලද බව ද, මේ හේතුවෙන් ලේකම්වරිය සමඟ අමනාප වූ එම සභාවේ ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඇයට එරෙහිව අසත්‍ය චෝදනා ගොනු කරමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාට සහ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති බවද පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජීව විජේපාල මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම පැමිණිල්ලට අනුව මූලික විමර්ශනයක්  හෝ නිසියාකාරව නොපවත්වා තමන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු හෝ දීමට අවස්ථාවක් ලබා නොදී පැමිණිලිකාර මන්ත්‍රීවරුන්ගෙන් පමණක් ප්‍රකාශ ලබාගෙන ඉතා අසාධාරණ ලෙස තම සේවාදායිකාවට ස්ථාන මාරුවක් ලබා දීමට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා අත්තනෝමතික කටයුතු කර ඇති බව ද නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

යම් චෝදනාවක් ඇත්නම් ඒ සඳහා ස්ථාන මාරුවක් ලබා දිය යුත්තේ දිස්ත්‍රික්කය තුළම වුවද, ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයට අනුව ඇයට ස්ථාන මාරුව ලබාදී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිට කුරුණෑගල දිස්ත්‍රික්කයට වන බැවින් මෙය තනිකරම දඬුවම් මාරුවක් ලෙස සැලකිය හැකි බවද සංජීව විජේපාල මහතා කියා සිටියේය.

එම ස්ථාන මාරුවට එරෙහිව වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කළද, රාජ්‍ය සේවා කොමිසමද එම ස්ථාන මාරුව අනුමත කර තිබූ බැවින් තම සේවාදායිකාවට මේ ආකාරයට නීතියේ පිහිට පතා අධිකරණය හමුවට පැමිණීමට සිදු වූ බව ප්‍රකාශ කළ පැමිණිල්ලේ නීතීඥවරයා, මෙය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිව යමින් දේශපාලන අවශ්‍යතා හා දේශපාලන බලපෑම් මත කරන ලද ස්ථාන මාරුවක් බවට අවධාරණය කළේය. එහිදී තව දුරටත් කරුණු දැක්වූ නීතීඥවරයා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ අංක 2313 / 32 / 2 (5) දරන වගන්තියට අනුව නාමයෝජනා කැඳවීමෙන් පසුව රාජ්‍ය නිලධාරීන් හට ස්ථාන මාරුවීම් ලබා දිය නොහැකි බව සඳහන් කර තිබියදිත් එම නිවේදනය නොසලකා හරිමින් මැතිවරණ නීති රීති උල්ලංඝනය වන ආකාරයට වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇතැයිද ඒ වන විටද මෙම නිලධාරිනිය මෙවර මැතිවරණයේ හලාවත තැපැල් ඡන්ද සලකුණු කිරීම භාර නිලධාරියා ලෙස පත් කර සිටි බව ද දැනුම් දුන්නේය. එවැනි මැතිවරණ රාජකාරි පවරා තිබෙන නිලධාරියකුට ස්ථාන මාරුවක් ලබා දීම බරපතළ වරදක් බවද නීතීඥවරයා ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට ලබාදී ඇති ස්ථාන මාරුව ලබන 14 වැනිදා තෙක් අත්හිටු වීමේ තහනම් නියෝගයක් නිකුත් කළේය.  එදිනට පෙත්සමේ වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරිමටද විනිසුරුවරයා නියම කළේය.